Thursday, December 13, 2012

අහිමි විජිතය....


හදේ දුක මට දැනේ ඔබගේ
නෙතේ වෑහෙන කඳුළු සයුරින්
ඔබේ රුව මට මගේ සිහිනේ
කෙසේ අමතක කරමි සැනෙකින්
ඔබේ මම ඔබ මගේ අපගේ
බවේ සැමවිට පැතුව විළසින්
ගෙවේ දින සති නොනිමි සසරේ
මගේ ඔබ ඔහුගේම කරමින්
මගේ නෙතුයුග අහිමි මානේ
නුඹේ විජිතය තැනෙයි සිතමින්
මුවේ හසරැළි නැගේ සෙනෙහේ
දැවේ හදවත තනිව හඬමින්
ඔසී
2012.12.13

Saturday, April 28, 2012

එපා ලියන්නට

එපා ලියන්නට නැවත හඬන්නට
හෙට දවසක් ගැන  මගේ හදේ
කඳුළු හෙලන්නට තවත් ඉතින් බැරි
ඔබේ මගේ පෙම් කතන්දරේ

වියළුණු කතරක සුදු වැලි තලයට
වැටුනා භිරි පොද වැස්සක් සේ
ඔබේ සෙනේ ගඟ කිඳා බැසී හද
විකසිත කර පෙම මගේ හදේ

බලා හිඳින විට ගියා දුරින් දුර
වැටුනා වැහි බිඳු අහිමි ඉමේ
මතකද එදිනම හදවතෙ නෙළුවා
අවසන් පදවැළ කතන්දරේ

ඔසී
2012.04.28

Friday, April 20, 2012

කොහිද....?

හිරු රැස් සැඟවේ
තරු මල් පිබිදේ
මා තනිවම අද
මගෙ යහනේ

පුර සඳ අහසේ
නුඹ රුව විලසේ
අපෙ පැටවුන් දැක
විමසන්නේ

මගෙ ප්‍රිය ලඳුනේ
නුඹ කොයි ඉන්නේ
ළැම තෙමුනොත් කිරි
වරපන්නේ


ඔසී
2012.04.21

Tuesday, April 17, 2012

වසන්තය

ඔබ මා නැලවූ සොඳුරු වසන්තය
ගමට ගියත් මගෙ සිත කොඳුරාවී
නැවත දකින්නට මල්සර විජිතය
නොහැකි වුවත් මගෙ සිත කොඳුරාවී

එකසිය විස්සක් පොහොය ගෙවීගිය
කටුයහනෙදි මගෙ සිත කොඳුරාවී
අහිමි වුවත් ඒ සමර යහන මත
වැතිරෙන්නට මගෙ සිත කොඳුරාවී

පෙරුම්පුරා ගත සිත එක් කරණට
මගෙ සිත වෙත ඇගෙ සිත කොඳුරාවී
මතු අත් බවයක එකට හිඳින්නට
සිත නැති ගතකට ඇය කොඳුරාවී


ඔසී
2012.04.17