Saturday, April 28, 2012

එපා ලියන්නට

එපා ලියන්නට නැවත හඬන්නට
හෙට දවසක් ගැන  මගේ හදේ
කඳුළු හෙලන්නට තවත් ඉතින් බැරි
ඔබේ මගේ පෙම් කතන්දරේ

වියළුණු කතරක සුදු වැලි තලයට
වැටුනා භිරි පොද වැස්සක් සේ
ඔබේ සෙනේ ගඟ කිඳා බැසී හද
විකසිත කර පෙම මගේ හදේ

බලා හිඳින විට ගියා දුරින් දුර
වැටුනා වැහි බිඳු අහිමි ඉමේ
මතකද එදිනම හදවතෙ නෙළුවා
අවසන් පදවැළ කතන්දරේ

ඔසී
2012.04.28

Friday, April 20, 2012

කොහිද....?

හිරු රැස් සැඟවේ
තරු මල් පිබිදේ
මා තනිවම අද
මගෙ යහනේ

පුර සඳ අහසේ
නුඹ රුව විලසේ
අපෙ පැටවුන් දැක
විමසන්නේ

මගෙ ප්‍රිය ලඳුනේ
නුඹ කොයි ඉන්නේ
ළැම තෙමුනොත් කිරි
වරපන්නේ


ඔසී
2012.04.21

Tuesday, April 17, 2012

වසන්තය

ඔබ මා නැලවූ සොඳුරු වසන්තය
ගමට ගියත් මගෙ සිත කොඳුරාවී
නැවත දකින්නට මල්සර විජිතය
නොහැකි වුවත් මගෙ සිත කොඳුරාවී

එකසිය විස්සක් පොහොය ගෙවීගිය
කටුයහනෙදි මගෙ සිත කොඳුරාවී
අහිමි වුවත් ඒ සමර යහන මත
වැතිරෙන්නට මගෙ සිත කොඳුරාවී

පෙරුම්පුරා ගත සිත එක් කරණට
මගෙ සිත වෙත ඇගෙ සිත කොඳුරාවී
මතු අත් බවයක එකට හිඳින්නට
සිත නැති ගතකට ඇය කොඳුරාවී


ඔසී
2012.04.17

Wednesday, December 8, 2010

කොයිබද මැණිකේ...!

පි/වියපත් දිනිඳු අවරට යන වෙලා වේ
මැණිකේ කළය ගෙන ඇයි මේ සැඳෑ වේ
දැක ඔබෙ උවන මගෙ සිත කල්පනා වේ
මඟ හැර කෙලෙස යන්න ද මේ සිනා වේ

ගැ/නොදුටුවෙ දිනිඳු පෙර දින මේ සැඳෑ වේ
සැඟවී ගොස් ද පාවුණ වැහි වලා වේ
නො සිතා තවත් ඒ ගැන මේ වෙලා වේ
හැකි නම් යමු ද දිය ගෙනෙනා දිහා වේ

පි/රෑ බත පිසින්නට දිය ඇදලා දෙන්න ම්
ඔබෙ තනි නො තනියට සැම දින ලඟ ඉන්න ම්
හේනක් කොටා කුඹුරක් කරලා දෙන්න ම්
සිත යට තෙරපෙනා දෙය මම පවසන්න ම්

ගැ/හීලට දවාලට මම දිය ඇදගන්න ම්
තනිකම දැනෙන විට බුදු ගුණ සිහි ගන්න ම්
හේනක් කරන ලෙස සැමියට සවසන්න ම්
නොහැකිය නටන්නට ඔබ කියනා වන්න ම්

පුතුනි...!

මා එදා රෑ සිතුවේ
නො දුටු නුඹ ගැනයි
එදා රෑ සීනේ දුටුවේ
නුඹේ සිනහවයි

තිදසින් වරම් ලැබිලා
අපේ ලොව වෙතයි
නුඹ පැමිණෙති කිව්වේ
නුඹේ මව තමයි

ජීවන කුඩා ඔරුවේ
රුවල ඔබ තමයි
නො දනී එදා බිඳුණේ
පුතුනි රුවල මයි

කම්මල්කරු

දකුණත ඉහල හා පහලට යන විට දී
වම් අත අඬුව තෝරයි ගිනියම් කැබලී
අත රැඳී මිටිය නියමිත තැන පතිත වෙතී
ගමට වුවමනා දෙය මෙහි නිපදවෙතී

අදිනා විටදි මයිනා හම වෙර යොදලා
ගත නහවනා දහදිය ගං රැළිති බලා
දෙ පසින් තිබෙන පපුවේ ඉලඇට ගැණලා
අහවර කරන්නට හැක ඇසි පිය නො හෙලා

රත් වූ යකඩයක් මෙනි ඔහුගේ දිවිය
පෙර කල සියලු දේ කෙරුමට නැත සවිය
තැළෙනා විටදි සැම දෙන උඩ පැන තැලිය
පිට කොන්දට ම ඇලුණේ උදර යෙ සිවිය

පන්නරෙ තබා ගන්නට නො කැපෙන පිහියේ
ගම්පති තුමා උදයෙ ම කම්මලට ගියේ
අත රැඳි මිටිය නැත නැවතත් උඩට ගියේ
දුටු විට නිසල කය දෑසම නළලෙ ගියේ

නුඹේ අත ...?

සියපත නෙළන්නට පොකුණට බැස්ස ලියේ
ජලේ ගැඹුර වැඩි තැන් ඇත හිටි හැටියේ
සළුව තෙමෙයි මඩ ඉහිරෙයි ඉඟ නෙරියේ
සෙමින් දෙපා තබපන් මගෙ සුරතලියේ

නැමී සොයන විට නෙළුමක් ලහි ලහියේ
මගෙ නෙත රැඳුනෙ නුඹ උකුලෙයි ළමිස්සියේ
ඇත්දල පැහැය පරදයි බඳවට එළියේ
තිසරුන් සිර කලේ ඈයි ඔය කිටි කිටියේ

මගේ ගෙ පැළ නැත තවමත් කළ එළියේ
හැකි ද නුඹට ගන්න ට බර දිරිය ලියේ
යන විට බුදු පුදට ඔබ මම සඳ එළියේ
හිඳිනෙමි නුඹේ අත දෙනවද සොඳුරු ලියේ