Wednesday, December 8, 2010

කොයිබද මැණිකේ...!

පි/වියපත් දිනිඳු අවරට යන වෙලා වේ
මැණිකේ කළය ගෙන ඇයි මේ සැඳෑ වේ
දැක ඔබෙ උවන මගෙ සිත කල්පනා වේ
මඟ හැර කෙලෙස යන්න ද මේ සිනා වේ

ගැ/නොදුටුවෙ දිනිඳු පෙර දින මේ සැඳෑ වේ
සැඟවී ගොස් ද පාවුණ වැහි වලා වේ
නො සිතා තවත් ඒ ගැන මේ වෙලා වේ
හැකි නම් යමු ද දිය ගෙනෙනා දිහා වේ

පි/රෑ බත පිසින්නට දිය ඇදලා දෙන්න ම්
ඔබෙ තනි නො තනියට සැම දින ලඟ ඉන්න ම්
හේනක් කොටා කුඹුරක් කරලා දෙන්න ම්
සිත යට තෙරපෙනා දෙය මම පවසන්න ම්

ගැ/හීලට දවාලට මම දිය ඇදගන්න ම්
තනිකම දැනෙන විට බුදු ගුණ සිහි ගන්න ම්
හේනක් කරන ලෙස සැමියට සවසන්න ම්
නොහැකිය නටන්නට ඔබ කියනා වන්න ම්

පුතුනි...!

මා එදා රෑ සිතුවේ
නො දුටු නුඹ ගැනයි
එදා රෑ සීනේ දුටුවේ
නුඹේ සිනහවයි

තිදසින් වරම් ලැබිලා
අපේ ලොව වෙතයි
නුඹ පැමිණෙති කිව්වේ
නුඹේ මව තමයි

ජීවන කුඩා ඔරුවේ
රුවල ඔබ තමයි
නො දනී එදා බිඳුණේ
පුතුනි රුවල මයි

කම්මල්කරු

දකුණත ඉහල හා පහලට යන විට දී
වම් අත අඬුව තෝරයි ගිනියම් කැබලී
අත රැඳී මිටිය නියමිත තැන පතිත වෙතී
ගමට වුවමනා දෙය මෙහි නිපදවෙතී

අදිනා විටදි මයිනා හම වෙර යොදලා
ගත නහවනා දහදිය ගං රැළිති බලා
දෙ පසින් තිබෙන පපුවේ ඉලඇට ගැණලා
අහවර කරන්නට හැක ඇසි පිය නො හෙලා

රත් වූ යකඩයක් මෙනි ඔහුගේ දිවිය
පෙර කල සියලු දේ කෙරුමට නැත සවිය
තැළෙනා විටදි සැම දෙන උඩ පැන තැලිය
පිට කොන්දට ම ඇලුණේ උදර යෙ සිවිය

පන්නරෙ තබා ගන්නට නො කැපෙන පිහියේ
ගම්පති තුමා උදයෙ ම කම්මලට ගියේ
අත රැඳි මිටිය නැත නැවතත් උඩට ගියේ
දුටු විට නිසල කය දෑසම නළලෙ ගියේ

නුඹේ අත ...?

සියපත නෙළන්නට පොකුණට බැස්ස ලියේ
ජලේ ගැඹුර වැඩි තැන් ඇත හිටි හැටියේ
සළුව තෙමෙයි මඩ ඉහිරෙයි ඉඟ නෙරියේ
සෙමින් දෙපා තබපන් මගෙ සුරතලියේ

නැමී සොයන විට නෙළුමක් ලහි ලහියේ
මගෙ නෙත රැඳුනෙ නුඹ උකුලෙයි ළමිස්සියේ
ඇත්දල පැහැය පරදයි බඳවට එළියේ
තිසරුන් සිර කලේ ඈයි ඔය කිටි කිටියේ

මගේ ගෙ පැළ නැත තවමත් කළ එළියේ
හැකි ද නුඹට ගන්න ට බර දිරිය ලියේ
යන විට බුදු පුදට ඔබ මම සඳ එළියේ
හිඳිනෙමි නුඹේ අත දෙනවද සොඳුරු ලියේ

අමතක කල මැන

අමතක කළ මැන
මා පිළිබඳ ඇති
යටගිය මතකය
මට සමු දෙනු මැන වී

ඔබ දිවි මඟ තුල
මා හමු වුන'යුර
සිහිනෙක පමනක්
මැදි යම් රැය තුල දී

ඉවත දමනු මැන
තව ඔබ සතු නම්
පුද දුන් සෙනෙහස
කුළුඳුල් පෙම තුල දී

පින..?

පින් ගත් දෙවියනේ මේ දුක අස න්නේ
දෙව් දත් වගෙයි නිළමේ මට පෙනෙ න්නේ
පින්වත් මැණිකෙ ගැන ඔහු නෑ තක න්නේ
කුඹුරත් අඳෙන් හැරවන්නයි තන න්නේ

පරවෙණියටමයි ගැති කම් කර න්නේ
හතරෙන් එකේ කොටසයි මට ලැබෙ න්නේ
තුන්සිය හැට දොහේ කුඹුරෙයි නැහෙ න්නේ
ගත් පින් බලෙන් මා මුදවා හරි න්නේ

මගේ පිඟානට සෙනසුරු වඩි න්නේ
රීරි මාංසෙයි හුරා ගිලි න්නේ
සෑහෙන දිනක් නම් මට නෑ පෙනෙ න්නේ
දෙවියනි ඔබේ පින් බල කොහි තිබෙ න්නේ

Friday, November 12, 2010

නෑනෝ.....

අතකින් කළය අතකින් සළු පිළි රැගෙන
නාන තොටට නුඹ යන එන අතර මඟ
සිටිනා මගේ සෙවණැල්ලත් නො දුටු ලෙස
නෑනෝ කිමද යන්නේ බිම බලා ගෙන

නුඹ ගෙට වෙන්න පෙර දී පුන් පෝ දා ක
බුදුන් පුදට මම සුදු මල් නෙළුවා ම
මල් නෙලු මගේ දෑත ම නුඹ සිම්බා ම
සිතට දැනුණ හැඟුමන් මතකයි තාම

දැන් දැන් දැනේ මහ වැස්සක පෙර ලකුණූ
නැන්දම්මගෙ මුවින් ගැසුවා සැර අකුණු
නො තෙමී ඉන්ට නෑනෝ දෑතින් සැදුණූ
ගෙපැලක් ඇතේ කදිමට සෙනෙහස රැඳුණූ

වාසනාවන්

වැව් දිය සිඹින මද නල වාසනාවන්
කෙත් බිම් තෙමන වැසි දිය වාසනාවන්
අටුකොටු පිරෙන කුඹුරත් වාසනාවන්
ඇඹුල ගෙනෙන මැණිකේ වාසනාවන්

හද සනසවන වචනය වාසනාවන්
සිත සනසවන ඔබ රුව වාසනාවන්
නෙතගින් වදින හී සර වාසනාවන්
සෙනෙහස විඳින්නට මට වාසනාවන්

මැණිකෙ ගෙ කනේ තෝඩුව වාසනාවන්
මුතු ඇට පෙනෙන සිනහව වාසනාවන්
දරුවන් පෙනෙන උකුලත් වාසනාවන්
නුඹෙ අත ගන්න ලැබුනොත් වාසනාවන්

සමුගැනීම

දෙ දොහක් දැල්වුන පහනට
බත් කූරෙක් දඟලා වැටුණා
කනප්පුවේ හෙප්පුව මත
බුලත් අතක් මුනින් පෙරලුනා

ඇණයෙන් එල්ලුණ සිතුවම්
කටු මැටි බිත්තිය සිප ගත්තා
සැම දින මගෙ ලඟින්ම උන්
නුඹ ගෙයි මැද දෙනක සැතපුණා

යැදීම.....

පින් ඇති දෙවියනේ මේ දුක අසන්නේ
නිම් නැති සෝ දුකින් මම කල් ගෙවන්නේ
ඉන් නැති තැනට සිත් මලපොලඹවන්නේ
වික් මැති ඔබේ සරණයි මට තියෙන්නේ

සිත් නැති මිනිසුනේ ඇයි මා පෙළන්නේ
කිත් ඇති නමුත් ඇයි ජඩ වැඩකරන්නේ
හිස් නැති සිරසෙ මල පමනද තියෙන්නේ
දිස් නැති ගලක් ඇයි ඉවතටදමන්නේ

විස් මැති ඔබේ ගුණ වයමින්කියන්නේ
ඉන්නැකි ඔබේ තෙද බල ඉස්තිරයිනේ
සිත් තැලි එවුන් තවමත් රජ කරන්නේ
සින්දැකි නො වෙද මුන්ගේ ගෙල කමන්නේ

එපා.....

දැනෙනව සැමට වැඩියෙන් මල්වල පැහැය
විඳිනව දුක සතුට නො අඩුව සැම දිනක
නෙත් අඳ නමුත් කරුණක් කියනෙමි මෙලෙස
මිනිසුන් නටන නැටුමන් පෙනෙනව මෙමට

පෙනෙනා දෙනෙත නො පෙනෙන දේ කරනු එපා
දුටු දේ නො දුටු විලසට ඔබ ඉන්න එපා
බල ඇති එකා දුටු විට සැඟවෙන්න එපා
තිබුණ ට සවිය දුබලයා පා ගන්න එපා

අත මිට සරු නමුත් නැති බැරි දේ එමටයි
රූ සපු ඇති නමුත් දිවි අඟනුන් ට යටයි
පිටතට හොඳ නමුත් ඇතුළත විෂ එමටයි
කළ හොඳ නරක එක සිතුවිල්ලකට යටයි

අම්බරුවන්

හීලට කොටා බෑ දං කුඩ වැය වෙනවා
දහවල බතට කොස් තම්බා ගෙන එනවා
ගහෙන් දෙරි ගැහුණු ම' පියා සිහි වෙනවා
දෙවියන් පිහිට අකැප ද නෙත් තෙත් වෙනවා


කමතේ ලියද්දේ වත්තේ කඹුරනවා
පෙර අත් බවේ දී ගත් ණය පියවනවා
මඩ සෝදපු ගොවියා හෙට රජවෙනවා
ලබන බවේ මුං අම්බරුවන් වෙනවා

මතකයි

මොළකැටි අත් ගුළි කරවා කෑ මොර දුන්නා මතකයි
දුවේ නුඹේ සුමුදු දෙපා ලංකර සිම්බා මතකයි
දෙතනින් කිරි නො දුන් නමුත් දහ දුක් වින්දා මතකයි
නුඹෙ අම්මා හැර ගිය දින රෑ නිඳි වැරුවා මතකයි

හැදෙනා ගස දෙපෙති වලින් පෙනුණා මට තව මතකයි
නුඹ දණ ගා අත් අල්ලා සිට ගත් හැටි තව මතකයි
නැති බැරි මුත් හැකි අයුරින් සිල්පය දුන්නා මතකයි
රෝස පොහොට්ටුව පිපුණා මලේ වරුණ තව මතකයි

මා නො ලැබූ නො දුටුව ලොව නුඹ සැරි සැරුවා මතකයි
නුඹ මට ණය ගෙවනා බව සැම දින දෙඩුවා මතකයි
මට නුඹ ණය නැති බව මම පහදා දුන්නා මතකයි
සිහිනෙන් නුඹ මංගල පෝරුව මත සිටියා මතකයි

රෑ අහසේ සඳ තරු දෙස විමසිලි වූවා මතකයි
දුවට මවත් මවට දුවත් නුඹ පැවසූ හැටි මතකයි
හිමිදිරියේ නුඹ නැති සයනය දුටුවා මට මතකයි
මම සිතු ලොව මම පැතු ලොව බොඳ වී ගිය හැටි මතකයි

පැතූ පැතුම්

වසන්තයේ එක් සැන්දෑ වරුවක
කුමරිය හා කුමරා දෙදෙනා
නෑසිය මිතුරන් පොදි බැඳි හස කැන්
අතරින් සතුටින් නික්මෙන්නා

පැතූ පැතුම් භව ගණනක් පෙර සිට
ඉටු විය මල් වැසි ඇද හැලුණා
සීතල මද නල සිරුර සිඹින සඳ
උණුසුම් හැඟුමින් සිත පිරුණා

සිහිනිඟ දැවටූ සළුවක් සුළඟට
විසිරී දෙපතුල සිප ගත්තා
රත් පැහැ ගිනියම් හිරු සැනසෙන්නට
සාගර ජලයේ කිමිදෙන්නා

පණ ...?

දුටුවා පියකරු උවන ක්
නැඟුණා මද හස රැල්ලක්
දැනුණා සුපුරුදු සුවඳක්
පෙර භවයක හමුවීමක්

මගෙ හද ආදර අරණක්
තනි වෙමු එහි එක මොහොතක්
පතමින් පැතුම න් දහසක්
හමු වෙමු අපි තව දවසක්

සෙනෙහස ඉතිරී තිබුනත්
වැටුණා නෙතගින් කඳුල ක්
මගෙ පණ ඔබ පැවසූවත්
ඔබෙ පණ ඔහු ළඟ කවදත්

නුඹෙ රුව

ගෙමිදුල එළිය වැටෙනා සැටි දුටුවේ ද
පුර පොහොයට සඳ නැගගෙන එන්නේ ද
බුදුන් පුදන්නට කවුරුත් යන්නේ ද
නුඹවත් සොඳුර මා සමගින් එන්නේ ද

පස් විසි වසක් එපිටට සිත යන්නේ ය
නෙලූ තඹුරු විල අද එහි නැති සේය
සිර කල එදා තිසරුන් නිදහස් සේය
නුඹ මම දෙදෙන අද සතරක් වන්නේ ය

පෙර දින මගේ සිත පැවසී දෙයක් ඇත
පරදයි තවම නුඹෙ රුව යුවතියක රුව
කුඹුරක ගෙයක හේනක ඇති සෑම දෙය
කෙරුමට මැලි නො වීමයි එහි ඇති රහස

සුවඳක් ....

පිපුණු නා මලක සුවඳක් නැහැය ට දැනුණා
මල්වර මඟුල ට පසුව දි මම උඹ දුටුවා
ඩිංගි නඟේ නුඹේ ඇඹුල රස බව දැනුණා
නුඹෙ අයිතිය සදහට මට ගන්න ට සිතුණා

වරුව ට වී ලාස් දෙකක් කපලා දෙන්නා
කමත සදා ගොයම් කොලේ ඇදලා දෙන්නා
එළලා පාවර අම්බරුවන් දක්කන්නා
කොළ ගොං ගසවා හොඳ හැටි බැත ටික ගන්නා

මෙදා කන්නෙ සරු බව හැම මුව ම දොඩන්නා
නඟේ නුඹේ රූපය හැම රෑක පෙනෙන්නා
ලබන කන්නෙ කුඹුර කරමු මේ අපි දෙන්නා
පිහිට පතා පත්තිනි දෙවොලට මම යන්නා

ගඟ දිය

සඳරැස් නැහැවුණ මේ උද්‍යානේ
කළ කී දෑ මතක ද හිමි සඳුනේ
බැබළෙන පුන් සිසි අද තනි අහසේ
සිතුවිලි සයුරේ මම තනි යහනේ

සිහිනය නැත අහලක වත් රැඳුණේ
සුවඳ දැනේ මට ඔබගේ නිබඳේ
දෙලවන් පෙති අයැදියි ඔබ පහසේ
දෙකොපුල නැත චුම්බනයක් ලැබුයේ

උණුසුම දැනුණේ රති කෙළි මඩලේ
දැඩි බව වැටහේ රණ හස් තුඩුවේ
හැඟුමන් කැලතී නිඳි නැති යාමේ
නැත රමණය තුටු ගඟ දිය ගැලුවේ

ගින්දර......

මට හරියට
කේන්ති යනවා...
කේතලයක් වගේ...
පිඹිනවා ලු..!
ඔයා දෙන
ගින්දරවලට....!

නො පතමි

වරදක් නොකලෙමි මම කිසි දිනයක
ඔබ ඔහු හට පෙම් කලා කියා
නැවතත් නො පතමි බුදු හිමි අබියස
මතු බවයෙක හමු වෙන්න කියා

සියපත සිඹිනට වරම් නොමැත මට
ගොහොරු මඩේ කුඩ මසකු නිසා
සතුටින් සමු දෙමි සියපත පුදනට
ජන්මය ඒ ගොහොරුව ම නිසා

කරුණක් කියනෙමි හද තුල තෙරපෙන
නන්ද කුමරුවන් සිත්හි තබා
ගිහිගෙන් නික්මෙමි පතනා ලොව වෙත
ඔබ ජනපද කලනියක් තමා

අනුරාධපුරය.......

තිසා වැවේ ළය සිඹිනා සීතල සුළඟේ
නිසා මැවේ හද ගැහෙනා සීපද රාවේ
සිතා සිතේ ඉපදවෙනා නීරස රාගේ
නිසා හදේ ඇති කර ගමු බැති බර සීලේ

ඉසුරුමුණියේ පෙම් යුවළේ සොඳුරු සිනාවේ
ගෙවෙන මොහොත නො දැනී අප නෙත ගිලුනාවේ
තව සියවස් අනන්තයක ගුන වැයුනාවේ
වඩුවානෙනි විස්කම් දෙවි ඔබයි කළාවේ

වෑ කන්දේ තුරු සෙවනේ මන දොල පිරුණේ
සෑ රදුනේ රත්නමාලි රන් කොත දිලුණේ
දොහොත් නගා සැදැහැ සිතින් සැම දෙන වැන්දේ
ඔබ සිහි වෙයි අප සැමට ම ගැමුණු රජින්දේ

තව්තිසාවක්....!

හිමිදිරි උදයේ..
මාවතේ
උඩගු රණ තිසරුන්
දුටු දෙනුවන්
හිමි සිත
වරක්, දෙවරක් නොව
තෙ වරක්...
බැඳේ රහසින්...
වරදේ....
හැරී බලා
ගැස්සෙයි හද...
තාලය ට
උකුලේ....
මැවේ
නො දුටු...
තව්තිසාවක්....!

අම්මාවරු

සුදෝ සුදු වතින් සැරසී
දනට වඩින අම්මාවරු
කඳුළු පිරි දෙනෙත බර වී
සොඳුරිය ගේ වත දුක් මුසු

මවකට පැටවකු බිහි වී
එරුනලු කිරි රැලට ම මුලු
සෙනෙහස පමනක් වැඩි වී
ගැබ් බර ඉසිලීමට බැරු

දරපු වෙර විරිය පෙර දී
සිහි වුනි කණ කැස්බෑවකු
කිමද බලන සැම දින දී
නුබ සමගම කලුවර සඳු

ඇතුගල

ඔහු සමගින් ඔබ දල්වන පහනම
මතකද අප දෙදෙනා දැල්වූවා
ඔහු හමු වෙන මේ ඇතුගල සෙවනෙ ම
මතකද අප දෙදෙනා හමු වූවා

ඔබට මතක ඇති අමතක කර ඇති
සොඳුරු අතීතය මට සිහි වූවා
ඇතුගල දැන සිටි පැතූ පැතුම් පොදි
ගුවන් තලය වෙත යලි එක් වූවා

චපල කමක් නැති ඔබ සිත හඳුනමි
මුසා බසක් කිසි දින නොකියූවා
පතමි දිගා සිරි ඔබට ජයෙන් පිරි
මගේ ලොවේ මා යලි තනි වූවා

කුසල් /අකුසල්

තෙල් මල් පුදා දෙ වරුව බුදු හිමි වඳිනා
නො වැරදි සතර පෝය ට අට සිල් ගන්නා
පංසල ලඟ දි දොහොත් මුදුන් දී වඳිනා
බැති බව ඉතිරෙනා මිනිසුන් ඇත මෙදිනා

අනෙකට වැඩිය මුදලින් පින් දම් කරනා
දෙනම ට සතර නමක ට දානය ගෙනෙනා
ගෙදර උපන් සුරතලු පංසල ට ගෙනා
පින් රැස් කරණ පින් වත් අය ඇත මෙරටා

මඩිය තර කරන්න ට මළකුණු විකුණා
මහ වෙසඟේ සැමට ම දන්සැල් දෙන්නා
පතමින් කුසල් අකුසල් රැස් කර ගන්නා
අනුවණ දනෝ ඇත රට වට සෑම තැනා

එකෙකූ දියුණුවට වෛරය සිත දරනා
කෙනෙකු යදී දෙවි පාමුල වැඳ වැටිලා
නුවනින් බලා අකුසල සිත් හැර දමලා
ආරිය අට මඟේ යමු අපි සිත පහදා

ලියමන

මල්ලියෙ නුඹේ ලියමන ගෙදරට ලැබුණා
ගෙමිදුල තල ගහේ එදින ම මල පිපුණා
අකුරට ගියේ නුඹ මගෙ පත පොත රැගෙනා
එනමුදු නැතේ කඳුළක් නෙතගින් වැටෙනා

මගෙ දොර වසා මම නුඹෙ දොර හැර දුන්නා
ගෙදර ට පහන නුඹ වේ යැයි මට සිතුණා
හැරුණ දොරෙන් නුඹ පහන ද ගෙන යන්නා
නුඹ ට සැපයි නිවසට අඳුර ම වන්නා

නෙත් අඳ පියා නුඹ එන තුරු කන් දෙනවා
අසරණ මෑණියන් දුක් කඳු ලැළි බොනවා
කටු මැටි ගෙපැල මහ පොළොව ට පස් වෙනවා
නුඹ දිවි මඟේ හෙට දින නුඹ රජ වෙනවා

පෝරුව මත දි ගේ දොර ගැන සිතන්නෙපා
නෑදෑ සනුහරේ විස්තර කියන්නෙපා
බිරිඳට කිසිම දිනයක දොස් නඟන්නෙපා
යලි කිසි දිනක ගම වෙත පා නඟන්නෙපා

පෙම් කතන්දරේ.....!

පිනි කැට වැටෙනා
නිශා යාමයේ
තරු මල් ඇහිඳිමු
අහස් ගඟේ
සඳ කැන් නැහැවුණ
නිල් තණ පියසේ
දෙපා නඟා යමු
අනන්තයේ
සුරතින් අල්ලා
නලල සිඹින්නට
සිතුවිලි පිබිදෙයි
නිරන්තරේ
ඉවසමු මතු දින
විජය කරන තුරු
නිමා නොවන පෙම්
කතන්දරේ.....!

මල්ලියේ

මතක ද මල්ලියේ අප දෙදෙනගෙ අප්පා
අදිකාරම මහ සිංහලයේ වන්නා
සතුරන් මුලා කර ජය අප වෙත ගෙන්නා
ගැනුමට තැත් කලත් එය වැරදී යන්නා

නුඹේ ළපටි මොළයට නැත වැටහෙන්නා
එතුමගෙ සිත් සතන් මම හොඳ හැටි දන්නා
සතුරගෙ කර මතින් නරපති කම ගෙන්නා
මවුබිම බේර ගන්නට ඔහු වලි කන්නා

වඩුග රජා ගේ නොපනත්කම් හන්දා
එක් සිත් සිහල බලමුළු විසිරී යන්නා
මේ සැම විමසමින් නුවනින් දුර දක්නා
පළවා හරින්නට රජ පෙරමුණ ගත්තා

කියපන් සැමට හෙට දින රට ජය ගන්න
එපා නැවත මැරෙනා හැටි පෙන්වන්න
පළවා හරින්නට පර සතුරන් ඔන්න
පැතුමක් පතමු සිංහලයේ ඉපදෙන්න

Monday, November 1, 2010

සඳ ….!

දකින තුරු නෙරළු තුරු
උඩින් පුර සඳ වල අසලින්
පා නගා
ගිය නගා
වල ට වැටුණ සඳ ……!

දීගේ

කවියක් කියන්නෙමි මම පැල නැති හේනේ
සිහින දකින්නෙමි මම නිදි නැති වේලේ
පුර හඳ දකින්නෙමි මම කළුවර පෝයේ
ඔබ ගුන වයන්නෙමි මම නො කෙරෙන දීගේ

විලාපය

කස්සප නිරිඳු නේ මේ දුක අසනු මැන
මෙතුවක් උන්න ආරක්ෂක බඹර කැල
එළවා දැමුයෙ අර නුතන නරුම රැළ
ඉවසා ගනු නො හැක මේ දුක සැමට අප

ආදාහනය

හනි හනිකට අඳුර ගලා වටපිට කළුවර වෙනවා
කර කර ගා දැවෙන කොටන් රත් පැහැයෙන් දිදුලනවා
ඈතින් යන කිරලෙකුගේ නද රැව් පිළිරැව් දෙනවා
කජු කන්න ට ආ වව්ලන් සර සර ගා නික්මෙනවා

අමු ගොක්කොළ දැවෙන කුයිල දසත ම විසිරී යනවා
සුදු පාටින් මල් වැල් ටික කලු වී නො පෙනී යනවා
කොඩි වැල් ඇද තිබු චිතකය නැත දුම් ගොඩ දැන් පෙනෙනවා
ජීවිතයේ අනියත බව ඒ අතරින් මම දකිනවා

සිය ගණනින් සිටිය සෙනඟ ඉවතට පිය මැන යනවා
ගිනියම් වී දැවෙන සිරුර වට කර ගිනි දැල් නගිනවා
හයේ හතරේ ශරීරයක් අළු වී පොලවට වැටෙනවා
අපෙ අත්තා නො එන ගමන් ගිය වග සිහියට නැගෙනවා

කාලය....!

මතකයි අම්ම ලෑ මහගෙදර ආලින්දයේ තිවුන ලස්සන
කණ්ණාඩි මේසෙ,
උදේ ට ඉර පායද්දී,
එලිය කණ්ණාඩියට වැදිලා
දිලිසෙද්දී ගෙදර තියා වත්තෙ වත් කාටවත් ඉන්න බෑ.
ඒ දිස්නෙ ගමට ම දැනෙනවා කියල අත්තම්මා කිව්වා.
ගෙදර අයගේ ගෙදර ට යන එන අයගේ
තොප්පි එල්ලන්න ලස්සනට මැදපු,
කොකු හතරක් තිබුණා.
අත්ත ගෙ Brim එක තිබුණ තොප්පියක් තිබුණා එල්ලලා ලස්සන ට...
කණ්ණාඩිය ට උස නැතත් මම උඩ පැනලා,
උත්සාහ කලා, මොකද අම්මා කිව්වා "මූණ තියෙනවා ට වඩා ලස්සන ට පෙනෙනවා "
කාලය ගෙවුනා...
අපි මහ ගෙදරින් ගියා...
රැකියාව ක් ලැබිලා,
අත්තා අන්තරා වුනා ට පස්සෙ කාලයක මම මහ ගෙදර ගියා...!
අදහ ගන්න බෑ අර මහේශාඛ්‍ය ලීලාවෙන්
වැජඹුණ කණ්ණාඩිය අව පාට වෙලා පුස් බැඳිලා......
කොකු වල එල්ලිලා තිබුණේ visor එක ගැලවුන helmet එකක්....

මතකය

රළ බිඳි බිඳී වැව් බැම්මේ නද දෙනවා
අත පොරි රැඳී එකිනෙක ඉන් ගිලිහෙනවා
හද බැඳි නොකී සිතුවිලි මතකෙට එනවා
මගෙ හද බිඳී විසිරුණ හැටි සිහි වෙනවා

සුළැඟිල්ලෙන් අල්ලා ගෙන පිය මැන්නා
කඳු රැල්ලෙන් මල් මල් මල් වැසි වැටුණා
කෙහෙරැල්ලෙන් ගිලිහී පිනි බිම හැලුණා
සිතුවිල්ලෙන් නික්මී මගේ නෙතු වැසුණා

ඔබ සිහි නොවන දිනයක් මගෙ සිත නැත්තේ
සිත සනස වන කිසිවෙක් මගෙ ලොව නැත්තේ
තෙත් වුන දෙනෙත පිස දැමුමට සිත් නැත්තේ
ඔබ යලි කෙදින එයි දැයි මම දන් නැත්තේ

අළුත් ඇඳුම

නංගී...
ලස්සනයි අළුත් ඇඳුම
ඒත්...
බිමට නැවෙද්දී කර අල්ලන්න එපා...!
ඒ දිහා බලන්න පෙළඹවීමක්..
ඒත් අර බ්ලවුස් එක.....
දෙපැත්ත මහන්න බැරි වුන...
ඒක හරි නෑ...
මොකද ඇඳලා ඉන්න...
කලිසම ටිකක් පාත් උනා ම
උකුල පෙනෙනවා....!

එපා..

එපා..
එන්න එපා...!
මගේ දෙනෙත් මානයට..
එන්න එපා...!
මට මගේ හිත
මම ලඟ තියා ගන්න ඕන...!

පුර හඳක්

පුර හඳක් සේ අහස ට නැඟී ඔබ....
කලාවෙන් කලාවට..
අව පක්ෂය ට ගොස්..
සදහට ම අමාවක දිනක්
මට උරුම කලේ මම නැවතුණ නිසා ද...?

මල් කැකුලි

හෙට දවසේ වික සිත වන මල් කැකුලි
හිරු අවරේ ඇති සැන්දෑ යාමයෙ දී
කිමද ගියේ විසිරී නටුවෙන් ගිලිහී
තිබුනි ද විස එතරම් මී මැසි තුඩෙ හී

කුලුනු ගුනේ අගතැන්පත් ඔබ කුමරී
සොඳුරු සිතේ ගැයුවා ගී පද මිහිරී
දෙ ගුරු කෙරේ කීකරු ගුණවත් යුවතී
නො මිනිසුනේ ඇසුනි ද හැඬුවා මොර දී

පහන වුනේ ගමට ම ඇය පෙර දිනෙ හී
අඩුව දැනේ ළපටීන් හට පාසලෙහි
ඇයි ද මෙසේ ලසෝ තැවුල් අප සිතෙහී
මතු භවයේ හමු වෙමු අපි යලි නැගෙනී

Saturday, October 2, 2010

උණුසුම

අන් දවසක නො දැනුණ උණුසුමක් ඇත
කදිම ට දැනේ මගෙ දෙසවන් පත් වලට
වරදක් කිරීමට සිතුවිලි නැත මෙමට
නිවහන දැනේ සඳ නැති අහසක් විලස

විඳවන්න ට එපා හිඳිමින් සයුරු තෙර
සඟවන්න ට එපා තෙත් වුන කොපුල් තල
නික්මෙන්න ට එපා හැර දා සුර විමන
දුක් වන්න ට එපා නැති වුන හෙටක් ගැන

හද තුළ තෙරපෙනා ඔය දුක් ගිනි දනිමී
පණ මෙන් සුරකිනා ඔබ ආලය දනිමී
වරදට පෙලඹෙනා නො දැමුණු සිත් නොවෙමී
අවසන් පදය ගිලිහී බිදුනා පමණී


ඔසී

තනිකම

හිරු කුමරා නැගෙන තුරු ඔබ ලඟ ඉන්න
එපා සඳවතිය සීතල මට දෙන්න
එපා විඳවන්න නොහැකිය මගෙ සිතට
එපා විමසන්න පුත තොප පියා ගැන

නොහැකිය දරා ගන්න ට තනිකම සිතට
වැලකිය හැකි ද ලියැවුන ඉරණම මෙමට
පැවසිය යුතු ද හැඟුමන් දැනෙනා ගතට
ඉවසමි පුතුනි සදනට නුඹ හෙට දවස


ඔසී

Monday, September 13, 2010

දිසිදි පොල්

හතරේ මනිය ඇසෙනවා මගෙ දෙසවන ට
පොරවේ මුවත් තියනවා මගෙ අද හොඳට
හොඳට තැවුන පොල් කපනවා ඉක්මනට
සසරේ පුරුදු දුක ගෙවෙනවා නො දැනීම

විසිපන් සියයේ ඉලක්කයට අපි යන්නේ
කපනව හැල්මෙ පොල් මද ටික ඉවරයිනේ
ඉවසන් ඉතිං හවසට අද සරු වෙන්නේ
කියපන් මිතුරෙ කොහොමද මද කුඩු වන්නේ

දිසිදි පොල් නමින් ලෝකෙට පරසිද්ද
කපපු පොල් නමින් සිරිලක හැම දන්න
තුන් තිස් පැයේ දුක් විඳිනා හැටි දන්න
රටට බරක් නෑ අපි සවියකි ඔන්න

ඔසී

පොඩි එකා

තාත්තා
අඬන පොඩි එකාව
පරක් කරනවා...!
පොඩි එකා එක්ක ම
තාත්තාත් මුනින් පෙරළෙනවා
පොඩි එකා
නැළවුනත්...
අම්ම ට තමයි....!!!!!


ඔසී

තනි කමක්

අම්මා ගියා ආඬි ලිඳ ට පැන් ගන්න
අප්පා ගියා තල් අතු වැට සාදන්න
කලක් ගියා අම්ම අප්ප ඒ ගන්න
දැනුණා තනි කමක් දැන් නම් මගෙ සිතට

මතකයි තවම අම්මා හැදු කිරි හොද්ද
හිරවෙයි හද ම නංගා හැඬූ හැඬවිල්ල
කියවයි අම්ම අප්පා නෑ රෑ නින්ද
ගණ දෙවියනේ ඒ දෙන්නා රැක දෙන්න

ඇස් නටවන බෝනික්කන් අපට එපා
කුස් පුරවන රස මසවුළු අපට එපා
සිත් රවටන කතා අහුරු අපට එපා
අම්ම යි අප්ප යි හනිකට ගෙනෙනු හොඳා

ඔසී

කෙලෙස ද විඳින්නෙ

හිතන්නෙ කෙලෙස ද විඳින්නෙ මම මද
මා හැර ගියා කියා
කියන්නෙ මට මද හඩන්නෙ මම මද
මා තනි වුනා කියා

ඉකිබිඳ අයැදී පෙර දින මතක ද
සැනසුම දෙන්න කියා
මා සතු සම්පත ලැබෙනා තුරු එය
ඔබ හිඟමනේ ගියා

ලැබුණ විටදි ඒ මගෙ සෙනෙහස් ගඟ
හස රැලි මුවේ තබා
ඉවත හලේ ඇයි දන් දුන් වස්තුවමට
දුක් ගිනි දීලා

ඔසී

හිඟ ද.?

ඇයි
දුක ට
මෙච්චර
ඉල්ලුමක්
දුක හිඟ ද.?


ඔසී

නින්ද

රෑට නින්ද
අහලක වත් නෑ
ඒකටත් එක්ක
දවල් ට
උඹ වගේ මයි...!

ඔසී

තිත්ත

නො දැනෙනවා නොවෙයි නුඹගේ සෙනෙහෙ මට
පවසනවා නොවෙයි වරදක් සිතට එන
දුක්ගන්නට එපා පවසන විට ඇත්ත
තිත්ත වුනත් කිව යුතු මයි දත යුත්ත

වැදෙන විටදි මල් හී සර හදවතට
දැනෙන සුවය විඳගන්නද කෙලෙස මම
ඔබට දැනෙන ඒ සුවයම අත්නොවිඳ
නො දුටු පැත්ත පවසමි මම අද ඔබට

සොයුරිය නුඹේ ගුණවත් කම අගනේය
මනාලිය මගේ වන්නට පැතුවේ ය
නො දැන සිටි යමක් දෙසවන වැකුණේ ය
මගෙ අප්පා නුඹෙත් අප්පා වන්නේ ය

ඔසී

ඔය දුක...!

මට නො දැනෙනවා නොවෙයි
ඔය දුක...
මොනවා කරන්න ද...?
ඔයා කොරහෙ කිඹුල්ලු දැකපු කොට..
මම දැන ගත්ත...
මමත් ඔහොම
කොරහෙ කිඹුල්ලු දැක්කා.
මට දැනෙනවා කොරහා
බිඳුනම තියෙනඔය දුක...!

ඔසී

පියා නො වුනත්

ජාතක කල පියා නො වුනත් නුඹ අපගේ
ලෝතලයම යටයි ඇති වීරියට නුඹේ
අවමන් කළත් පස මිතුරන් අද දවසේ
ගුණවත් නුඹේ සිත හින්දයි අප රැකුණේ

මවට කිව නො හැක වරදක් කිසි විට දී
හිරුට අයිති ඇය සඳවතියක් පමනී
අරුණ සමග හිරු තෙදවත් වන විට දී
නිශා යාමයේ හෙළුවා සුසුම් කැටී

අප දන්නා පියා නුඹ පෙර දිනේ හිටන්
නුඹෙ නම ගිලිහුණේ ඇයි අර අකුරු පොතෙන්
විමසන්නට වුනේ ඉවසනු බැරි වූයෙන්
පිළිතුරු ලැබුණි මවගේ තෙත්වූ දෙනෙතින්

ඔසී

අම්මේ

රෑට සඳ එළිය දහවල හිරු කිරණ
වැලකිය නො හැක ගේ ඇතුළට ඒම
තැන තැන දිරා ගිය වහලය සේම
රෝගී වූ පියා දුබලයි තාම

දැලි කුණු වැකුණු මුළුතැන්ගෙයි හිමිකාරී
ඇගෙ වත බලන්නට කිසිවෙක් නේවී
පැරණි ඉවත දමනට හැකි හැළි මුට්ටී
අක්කණ්ඩිගේ හිරයට දේපොළ වෙච්චී

සු පිරිසිදුයි සයනයෙ ලූ ඇතිරිල්ල
ඉවත් කලොත් පෙනෙනවා කොහු ගුදිරි ටික
මුහුණ බලන විට කැඩ පත අතට ගෙන
ඇයි නො පෙනෙන්නෙ නංගීගෙ ඇවිළෙන ගින්න

ආරස්සාව දෙන ගෙයි දොර ඉදිරිපස
අගුල ගැලවි වැටුණා පෙර දා රෑක
දෙවන පිරිමියා අපෙ අයියා ගෙදර
දකුණත අහිමි වුයේ පෙර කරුමෙකට

සඳ දෙස බලා පිල උඩ පැදුරට එනවා
නො දුටු සිහින ගැන සිතමින් ල තැවෙනවා
සැවුළන් අවදි කර ගෙදරින් පිට වෙනවා
ලැබෙන අහරකින් මම ජීවත් වෙනවා

කල් ගත වුනත් දැමු පාදම අප නිවසේ
සවි ඇති නිසයි තවමත් එය පවතින්නේ
නුවනින් බලා අප සැම දෙන රැක ගන්නේ
අම්මේ නුඹ නිසයි අප ජීවත් වන්නේ

ඔසී

අට විසි

අමාවක සඳ
සමයි නුඹ වත
කිම ද
අට විසි
පුර,අව කලාවෙන්
ඉක්බිති...
මෙතරම් අඳුරක්....?


ඔසී

කනත්තක්

පර පණ නැසීමට අපි අනුබල නොදෙමූ
ජීවිතයක වටිනාකම ඉගෙන ගමු
පිළිහිඩියෙන් තොර ව ආහාරය ගනිමූ
අප කුස කනත්තක් නොව නට බලාගමූ


ඔසී

සබඳ..

සබඳ..
නවතින්න
සිතන්න මොහොතක්
ඉටු කළා ද ඔබ.
සාධාරණයක්,
ලැබූ..අධ්‍යාපනයට
මව්පියන්ට
නැණස පෑදූ..
ගුරු දෙවිවරුන් ට
රටට....?

ඔසී

දරුවනි

නව පරපුරේ දරුවනි මේ ලෙස හිතමූ
හැඟුමට නො දී බුද්ධියටත් තැන ක් දෙමු
පිටින් ගෙනෙන සැම දේ කර මත නොගමූ
හොඳයි නරක දෙක හරිහැටි වටහ ගමූ

ආගම දහම ගැන හොඳ හැටි ඉගෙන ගමූ
දුක් පත් දුගී ජනයා හට සරණ වෙමූ
සහොදර සහෝදරියන් හා පියා මව්
අමතක නො කර සැම සත හට මෙත් වඩමූ

උගත් දෙයින් දිනූ බිමට වැඩ කරමූ
ලෝක ගමේ සැරිසැරුමට බිය නොවෙමූ
අපේ සමත්කම් පිට රටුනට කියමූ
රටට අවැසි දේ නිවැරදිව ම කරමූ

රාග ද්වේෂ මෝහය ඉවත ට හෙලමූ
ඇත්තම කියන්නට කිසි දා මැළි නොවෙමූ
රටට සම්පතක් වීමට දිරිය ගමූ
මේ බිම ලෝකයේ පෙරටම රැගෙන යමූ

ඔසී

Friday, September 3, 2010

කැඩ පත

කැඩ පත කැඩ පත..
මම ලස්සන ද..?
..ම්ම්ම්...ඔව්
කැඩ පත කැඩ පත..
මම ලස්සන ද..? ..
ම්ම්ම්...ඔව්
කැඩ පත කැඩ පත..
......

.
ඔබට ලස්සන
මම
ඔහුට …..

අවලස්සන වූයේ ඇයි....?


ඔසී

බම්බුව තමයි..!!!

මතක ද...?
අපි විසි කරපු,
උණ පුරුකෙන් හදල
කොහු ලණු ඔතල,
රෙදි කඩමාල්ලක්
අගට ඔතල,
මුට්ටිය උඩින් තිබ්බ
පිට්ටු බම්බුව....!
අද Ever silver....
බම්බුව තමයි..!!!


ඔසී

අම්මේ..!!!!!

උතුරා ගලා ගිය හද තුල කරුණාවේ
දැනුණා මෙමට සිටියදි කුස තුල ඔබගේ
මෙත් සිත් වඩා බලයෙන් බුදු දහමේ
ගුණ නැන මෙමට දායාදය දුන් අම්මේ

රක්ත වර්ණ රුධිරය සෙනෙහස හමුවේ
ක්ෂීරය වී දෙතනින් මුව වෙත ගැලුවේ
ඒ කිරි ගුණෙන් සැම විට සවි බල ලැබුණේ
දිවි ඇති තුරා මම ඔබ රකිනෙමි අම්මේ

ගැබ් බර තමයි ඉහල ම බර මිහිතලයේ
දස මස් ඉවසමින් ඒ බර උහුලැව්වේ
දන්නෙමි වේදනා වන් විඳි ඒ සමයේ
මතු අත් බවේදිත් පතනෙමි ඔබ අම්මේ


ඔසී

අයිස් පලම

මට
කඩෙන් ගත්ත
අයිස් පලමක්
මතක් වුනා...!
ඉතිරි වුනේ
කෝටුව විතරයි...!!!


ඔසී

වැටුප..?

දරුවෝ
පොත්
කිරි පිටි
බිරිඳ
ගෙදර අඩු වැඩිය
ගෙවල් කුලී......
වැටුප..
කන්ථක ගේ
තොරණ ට...!

ඔසී

හැකි වෙද .....?

කළය නු හුරු උකුලට කළය ක් ගන්න
හිස මත තබා දර මිටියක් ගෙන එන්න
රටා දමා මගෙ ගෙමිදුල අමදින්න
කලකින් නො දුටු සිහිනය වෙත ගෙන යන්න

පදමට ඇඹුල් සහ ලුණු ටික දා ගන්න
හොද්දක් සමග සම්බෝලය සාදන්න
පතුල රොස් නො කර බත් ටික පිස ගන්න
රස මසවුළු නැතත් ඒ ටික ඇති ඔන්න

හද තුල නැගෙන දුක් ගින්දර සනහන්න
දුක සැප එකට මා සමගින් විඳ ගන්න
මව් නැති මගේ දරු පැටියට මව් වෙන්න
හැකි වෙද කොළඹ හැර කුරුණෑගල එන්න

ඔසී

සබන්

සීගිරි ලියන්ගේ....
නැති වුන
ඡවි කල්‍යානය...
ගෙන දීමට...
නූතන ශාකසාර
සබන් වලට..
හැකි වෙද.....?

ඔසී

ඒත් උඹ......

මම....
එදා හවස හිතුවේ ම...
ආකාසෙයි උඹයි..
එක වගේ කියලා...
ආකාසේ රොබ්බාගෙන ඉඳලා
එක පාරට ම...
මහ හයියෙන්...
වහින්න ගත්තා
ඒත් උඹ......
ඒ වගේ
මහ හයියෙන්
නාඬපු නිසා බලද්දී....
පොඩි වුන...
පොරෝනය විතරයි...
උඹ ගිහිල්ලා...!

ඔසී

Monday, August 30, 2010

සමගිය

ඉස්සර...
අපේ දෙමව්පියන්ගේ කාලයේ
බත් හැළිය ඉදෙන කම්
දෙන්න අතර තිබුණ
අසමගිය...
අද...
බත් හැළිය පිළුණු වෙලා
පරන ගෝදම්බ රොටිවලින්
හදපු....
කොත්තුවක් ගෙනාවත්
එහෙමම යි....!

ඔසී

හිවල්ලු

අදටත්...
මිදි රස බලන්න
බැරි වුන.
.....……….
හූ කියනවා.....
මිදි ඇඹුල් කියලා
උන්ට තේරෙන්නේ නෑ...
රස විඳින්න
මිදි කෙසේ වෙතත්
බිම වැටුණ...
වැල මදුළක් වත්

ඔසී

Saturday, August 28, 2010

...කසාදය...?

කසාදය
මධුසමය
රතු සාරිය
දෙවෙනි ගමන............
හිසරදය
ඔක්කාරය
වමනය...නෑ....
සාංකාව..
රැවුම්.
.ගෙරවුම්..
.වෛද්‍ය‍යවරු..
සිත් බිඳීම්...
තොවිල් පවිල්
සාස්තර....
දුක...
භූත දෝෂ...
දිෂ්ඨි...
මුදල්,
දොළපිදේනි
කලකිරීම......
කසාදය...?

ඔසී

සමා වෙයන්....!

අහස.....
පසුගිය පායපු දවස්වල...
අපේ බැනුම් අහල,
දැන් කඳුළු වගුරනවා.....
නුඹට දුකක් දැනුණා නම්
සමා වෙයන්....!

ඔසී

උඹේ ආදරය

අපේ ජීවිතයත් හරියට
කවියක් වගේ ලු...!
මම කවියක් ලියන්න
පැන්සලක් ගත්තා.
ඒත්...
තුඩ නෑ....!
මම හෙමින් හෙමින්
උල්කරගත්තා...!
ලස්සනට හෙමින් හෙමින්
ලියන්න ගත්තා...
ටිකක් ලියා ගෙන යද්දී..
උල කැඩුණා...!
කරන්න දෙයක් නෑ
ආයෙත් පිහිය අර ගෙන
උල් කලා...
කවිය සෑහෙන්න ලිව්වා
ලියවෙන්නෙ නෑ...
බලද්දී උල මොට වෙලා...
මොනවා කරන්න ද...?
පිහිය අරන් ආයෙත්
උල් කරන්න බලද්දී...
පැන්සල ඉවර වෙලා...!
මට.........
උඹේ ආදරය මතක් උනා......!


ඔසී

කඩුව

යුද්දෙට නැති කඩුව
කොස් කොටන්න ද......?
නෑ.....!
කොස් ගස් කපන්න....!

ඔසී

"ඒ අපේ ආදරය"

එදා.....
අහස කලු කරලා වැස්සක් වැස්සා
ඒ වැස්සේ එක ම කුඩේ යටින්
මගේ ආදරය පිළිගත්ත...
ඔබ සමඟ පිය මනිද්දී...
වැහි බිංදු වැටුණේ...
ආසිරි මල් වගෙයි...
දූ විළි සේදුණ සුවඳ,
අපේ නාස් පුඩු කිතිකවාන ගියා...
වැස්සෙන් පසු නව පනක් ලද
තුරුලිය අතු ඉති ලද්දී...
මල් පිපෙද්දී...
මට හැඟුණා...."ඒ අපේ ආදරය" කියල..
ඒ ලස්සන දලු ලෑ ආදරය....
ඉඩෝරයට අහුවෙයි කියලා අපි හිතුව ද...?
ඉරි තැලුන කාෂ්ඨක පොළොවේ...
ජීවය ඉල්ලා වැලපෙන..
ඒ තුරුලතා වලට...
ඔබ දිය පොදක්නොවුනේ ඇයි.....?

ඔසී

සමාජය

අඳ දෙනෙතේ ශක්තියෙන්
දිවි සරි කරගත්....
මගේ හදවත සොරා ගත්..
ඔබ....
මගේ සේසත ම සොරා ගත් දින
නෙත් නැති මට.....
ඇති ඔබේ සමාජය පිළිකුල් විය...!

ඔසී

මල්

පෙනෙන මල් නො බලා
නො පෙනෙන ඒ මල බැලූ
බමරා අද මළ පුඩුවේ.!

ඔසී

කඳුළ

"කිසි දිනක කඳුළක් වැටෙන්න
මම ඉඩ තියන්නේ නෑ...!"
හැමදා ම මතුරපු
ඔයා ගැන මම විශ්වාස කලා......!
ඒත් මව් නැති ඔබට මම දුන්න
නිදහසින් අයුතු ප්‍රයෝජන ගත්තා....!
දුවේ.........
නුඹ දුන්න දුක් ගින්න නිවන්න,
කඳුළු වැටුනට මදි...
ගලන්න ඕන....!
ඔසී

Monday, August 16, 2010

මගේ අම්මා

ඔයාට දුකක් දැනෙන
හැම වෙලාවක ම....
මම ඔයා ලඟ කියපු ඔයා....
මට උහුල ගන්න බැරි තරම්,
දුකක් දුන්න වෙලාවේ...
මගේ ලඟ හිටියේ....
....මගේ අම්මා විතරයි....!


ඔසී

ආදරෙයි...ද

දවසක් හැන්දෑවක...
මගේ ඇස් දෙක දිහා බලා ගෙන...
අවිහිංසක ව සිනාසුණ ඔබ...
මම "ආදරෙයි...ද ?" අහපුවම
මුවින් නොපවසා...
දෑසින් පැවසු දෙය..
මට නොවැටහුන බවවැටහුණේ....
අවසන් වසරේ දිනක
ඔබේ පෙම්වතා මට හඳුන්වා දුන් විටයි...!


ඔසී
දවසක් හැන්දෑවක...

මගේ ඇස් දෙක දිහා බලා ගෙන...

අවිහිංසක ව සිනාසුණ ඔබ...

මම "ආදරෙයි...ද ?"

අහපුවමමුවින් නොපවසා...

දෑසින් පැවසු දෙය..මට නොවැටහුන බවවැටහුණේ....අවසන් වසරේ දිනකඔබේ පෙම්වතා මට හඳුන්වා දුන් විටයි...!ඔසී

වයස

ඒ කාළේ මම...
හරි ආඩම්බරයෙන්
දරුවෝ පාසල් ගෙනිච්චා
ඒ දරුවෝ ඉහල පංතිවල
ඉගෙන ගද්දී...මම ආඩම්බර උනා
සරසවියට යද්දී සෑහෙන සංතෝෂයක්...
රැකියාවක්.....විවාහයක්...
සතුටක්....
දරු මුනුබුරන් මට සතුටක්....!
නමුත් වයසට ගිය මම ඔවුන්...ට,
...............ද ?
ඔසී

පරාර්ථකාමී ආදරයක් ?

ඔයා මගෙන් වෙන් වුන දවසේ..
"මගේ ආදරය ආත්මාර්ථකාමී නෑ....
ඔයාට හොඳක් වෙනවාට මම කැමතියි....
ඔයාගේ කැමැත්තක්....."
මම එහෙම කිව්වත්
මට පස්සේ තමයි දැනුණේ
පරාර්ථකාමී ආදරයක් කියන්නේ
මොන බොරුවක් ද කියලා...
ඒත් මම තවමත් කට්ටියට කියනවා
මගේ ආදරය පරාර්ථකාමී කියලා.......
එහෙම කියලා මම තනියම විඳවනවා..!


ඔසී

කළ කිරීම

අපේ ජීවිත වලට
මුන ගැසෙන කිසිම කෙනෙක්
විශ්වාස කරන්න බෑ...........
සමහර අයට විහිළුවක්
සමහර අයට ඉනිමඟක්
තවත් සමහර අයට පලිහක්...
දවසෙන් දවස
කළ කිරීම හෑර
කිසිම ඉතිරියක් නෑ.....!

ඔසී

Tuesday, August 10, 2010

රැක ගනින්

නැගෙන සිනා මල් නුඹගේ වත කමලේ
පුන් සඳ පරාදයි පෝ දා ආකාසේ
නැත අරුමයක් හදවත සතුටින් ඉපිලේ
දිවි ඇති තුරා ලද දෙය රැක ගනින් නඟේ


ඔසී

රහස

උවනේ පෙම් සිනා කොහි සැඟවුනා දෝ
මල්වර කෝල ගතියක් ඇති වුනා දෝ
නු දුටු කල්පයේ නුඹ කොහි ගියා දෝ
නොකී රහස මුදුවෙන් හෙළි වුනා දෝ

ඔසී

Monday, August 9, 2010

"පොඩි දෝණි"

දස වසක සුබ සිහිනය
සඵල වෙලා...!
නුඹ මා නැගණියගේ
දියනි වෙලා...!
අප සැමගේ සිත් සතුටින්
උදම් වෙලා...!
දුවේ "පොඩි දෝණි" නුඹ
අප පැතුම වෙලා......!


ඔසී

(නිමිත්ත:-මගේ නැගණියගේ දුව)

Saturday, August 7, 2010

මාල පෙත්ත

පා නමදිද්දී ....
දුටු ලැම.
නො දුටු සේ සිටියත්..
එහි සිර වූ
මාල පෙත්ත
තවම මතකයි.!


ඔසී

Friday, August 6, 2010

සුන්දර.....ලස්සන….

ලස්සන….
තරුණ වියට,
සුන්දර බව….
ජීවිතයට..!

ඔසී

හතර කේන්දරේ

තේරෙන වයසේ ඉඳලා
මාත් එක්ක හාද වෙච්ච
උඹ ….
මගේ වේලාපත්කඩයේ
හතර කේන්දරේ
පාලුයි කියලා
මහණ වෙන්න කිව්වේ...
උඹ පංසලේ පොඩි නම
එක්ක.................
මගෙන් පංසලේ අඩුව පුරවන්න කියලා
මම හීනෙකින්වත් හිතුවේ නෑ...!


ඔසී

අපි වෙනුවෙන් උන්

අපි වෙනුවෙන් අපි
හෑම දාම හිටියා...!
උන් හිටියේ
ඉලව් ගෙදර විතරයි....!


ඔසී

ජීවත්වීම

අන් අයකුගේ
තනුවකට
ගයමින්, නටමින්
තම සන්තෝෂය
යටපත් කර
අනුන් සන්තෝෂ කිරීම.


ඔසී

පවුල

අවුලට ගොස්
තැවුල් ඇති නො කර ගෙන
හවුල කෙසේ හෝ
පවුලක් කර ගන්න....!


ඔසී

1992

සීයයි..
Beer එකයි..
සිගරැට් දෙකයි...
කඩල ගොට්ටයි....
නියමයි...!


ඔසී

පදනම

මව සහ පියා
මට උරුම කල
ඉවසීම....
අපේ සම්බන්ධයේ
පදනමයි.....!


ඔසී

FANTASY



සිතන්න...
ලයාන්විත ව..
ලියන්න....
දයාබර ව....අරුත් බර ව...
ජීවත් වන්න...
සෞන්දර්යාත්මක ව...
හැකි වෙයි...ඔබට
අවැසි දේ....කිරීමට
ඔසී

දනිමි එය...!

සඟවනු බෑ ඔබට
දනිමි මම එය
රතු වූ දෑසට...
වියළුණ කඳුළු කැට වලට...
හේතුව...
විමසිය නො හැක..
මම ද එය විඳ ඇත...
සිනාසෙන්න....
සියල්ල පැරද විය හැකියි...!

ඔසී

Monday, August 2, 2010

ගැළපීම

අම්මා ට..
අප්පච්චිට....
හතර වරිගය ට...
ගැළපෙන....
එතකොට මට....?


ඔසී

ආරාධනා...!

සිර කල තිසරුන්
පෙන්වමින් සෙමින්
නො දන්නා ලෙස ..
හිදැස අත්ලෙන් වසා
නෙතගින් හී සර යවා
පසු කර යමින් මා…
දෙනෙත සිර කර….
නො දුටු උකුලේ
කිම ද වරදට ආරාධනා....!


ඔසී

තහනම් ගස

ඔබේ නෙත රහසක් කියයි
මගේ සිත ඇල්මෙන් වෙලෙයි
ඔබේ දෙතොලේ උණුසුමින්
මගේ හද කිති කැවෙයි

දැනේ හසරැල්ලේ සෙනේ
කෙසේ පවසන්න ද හදේ
පිරී ඉතිරී දෝරගලායන
මගේ සෙනෙහස නඟේ

සිතේ සිතුවිල්ලක් නැගේ
පල නෙළයි තහනම් ගසේ
නඟේ හද පිරි ආදරේ
කෙසේ පිලි ගන්න ද මෙසේ


ඔසී

Friday, July 30, 2010

MANNERS

තිබහ හැදිච්ච මට
කිරි තේ එක බීපු ගමන්
කැස්සක් ආවා....!
wife ඇයි කියලා අහනවා...
මොනවා කියන්න ද...?
manners එක්ක
තේ මණ්ඩි ටික
මගේ බඩේ...!


ඔසී

ලේ..........!

අපි කවුරු උනත්..
මොන ජාතියේ උනත්...
හැම මනුස්සයෙක් ගෙම......ලේ රතු පාටයි..ලු
එහෙම උනත්
හැම ජාතියක් මඑකිනෙක ගැළපෙන්නෙ නැති ලු...!
ඒ රතු පාට ලේ තමයිදෙමව්පියන්ගෙන්...
දරුවන්ට ලැබෙන්නේ...
නෑනයි මස්සිනායි...වෙච්ච
උඹෙයි... මගෙයි...ලේ වලින්...පිළිසිඳ ගත්ත
ඒ දරවා...
ඇයි මේ ලෝකයේ එලිය නො දුටුවේ....!
අපි ආත්මයෙන් ආත්මයපතා ගෙන ආවත්...
ඒ හැම ආත්මයක...
මේ දුක මේ විදියට ම..
විඳින්න ඇති.මම මේ දුක විඳ ගත්තත්
උඹට ඒක විඳ ගන්නඅපහසු බව
මට වැටහුණ නිසයි...
ලබන ආත්මයෙ දි...
අපි එක් නොවෙමුයි...කියලා
පැතුවේ....
නැතුව.... ආදරේ නැතිකමට නොවෙයි....!



ඔසී

වරද....?

මගේත්...සම්බන්ධයේ
අග්‍රඵලය...
නො දුටු...
මෙලොව..
සරදම්...
කිම ද...?
අප කළ වරද....?

ඔසී

Friday, July 23, 2010

වැරැද්ද

"මම නිසා නුඹට...
කිසිම දවසකවැරැද්දක් වෙන්නේ නෑ....!"
එහෙම කිව්වත්..
මම කරපු වැරැද්දේ
ප්‍රථිපලයකුත් නෑ...!
ඒක නුඹට විතරක් නොවෙයි
මටත් ප්‍රශ්නයක්...!
ඇයි එහෙම වුනේ...!


ඔසී

ADs....

රූපවාහිනී නාලිකාවල
එක දිගට පෙන්නන
වෙළඳ දැන්වීම් අස්සෙන්...
Teli කෑලි දාන එක
පල් වැඩක්....!


ඔසී

දානය.?

ඊයේ පෙරේදා..
වලව්වට කඹුරලා..
ගත්ත තුට්ටු දෙකෙන්..
හදපු කිරි අප්පොච්චාගේ..
තුන් මාසේ...දානේ...!
හාන්දුරුඔ...
වලව්වට වැඩලා....
දානේ ට...!


ඔසී

සභ්‍යත්වය....!

නේක වර්ණ
විදුලි එලි...
සලෙල මන
පිනා යන රැඟුම්
බඳුන් පිරවූ...
විකල්මන පැන්..
සලෙල පියවරු...
....සහෝදරයන්..ගේ
බුර බුරා නැගෙන..
පිපාසය සංසිඳවන..
ගැස්සෙන පැද්දෙන..
ලැම පෙන්වන..
මරඟනන්..
රැය පහන් වනතුරු..
නිදිවදී සභ්‍යත්වය.....


ඔසී

වාහන පෑදීම

වාහනයක් පදින එකත්
මාරයි...
පුරුදු වෙන කාලෙදි
හොඳට පුරුදු වෙන්න
පරන වාහනයක්
හොයනවා.....
ඒත්....
හොඳ පුරුදු කාරයෙක් වුනාට
පස්සේ...
හොයන්නෙ ම BRAND NEW ඒවා....
සමහරු හදිසියට...
බලපත්‍ර නැතිව වාහන පදිනවා..
ඒත් තාවකාලික බලපත්‍රයක් හරි
තියෙනවා නම්...
හොඳයි කියල ..
පොලිසියට අහු වුනා ම
හිතෙනවා.....!
ඔසී

Wednesday, July 21, 2010

TIME

සමු දෙන්න....
අතීතයට...
වැළඳ ගන්න...
වර්තමානය...
බලා හිඳින්න...
අනාගතය...
එන තුරා......!


ඔසී

සුවඳ....

වෙරළු මල්
සුවඳට...
මම හරි ආසයි...!
කොල්ලෝ මට
හිනා වුනා...!
ඇත්තටම මම
ඒ සුවඳට
තවම ආසයි...!


ඔසී

Tuesday, July 20, 2010

නීතිය....!

කැලේ නීතිය
පුරුදු නැති මම
කොහොම....
office එකේ...
මිනිස්සුත් එක්ක
වැඩ කරන්න ද...?


ඔසී

Monday, July 19, 2010

බලාපොරොත්තුව සහ සිහිනය.!

ඔබ ගැන තිබුණු
ඒ බලාපොරොත්තු...
කඩවුනත්....
හැමදා කම මම හිතුවේ...
ඔයා මගේමයි කියලා...
නමුත්....ඒක..
සිහිනයක්...විතරයි...
කියලා හිතුනෙ...
නුඹ තවකෙකුගේ
අත ගත්ත දවසේ...
ඒත් මගේ සිහිනය තවමත්....
මගේ ලඟ තියෙනවා....!


ඔසී

බීජ සහ කෙත

සරු කෙතක
වපුල...
බීජ....
පැල නොවූයේ...
මන් ද....?


ඔසී

නීල් ආම්ස්ට්‍රෝං

රෑට ජනේලයෙන්
හඳ පෙනෙන කොට
අවුරුදු ගානක් පස්සට...
හිත දිව යනවා...
බොල්ගොඩ ගඟේ....
බෝට්ටුවෙ හේත්තු වෙලා
නීල් ආම්ස්ට්‍රෝං වෙච්ච හැටි.....
තවමත් කට්ටිය ඒ වගේ
හඳට යනවා ඇති...!


ඔසී

Friday, June 18, 2010

දඩයම

සතුන් දඩයම් කිරීම
අකුසල කර්මයක්..
ඒත්....
තිස්ස රජතුමා...
මුව දඩයමේ නොගියානම්...?


ඔසී

Friday, May 7, 2010

මම ලෝකය සහ ඔබ....!

ලෝකයක්.....
මම මේ ලෝකයේ එක් අයෙක් වුනත්
ඔබට.... මම ලෝකයක් විය
මම ලොවක් ලෙස සිතූ
නුඹ... ඒ ලොව හැර ගියදා...
නැවතත් මම මේ ලෝකයේ පමනක් නොව
නුඹේ ලොවේද එක් අයෙකු...විය.


ඔසී

Wednesday, May 5, 2010

බුදු හිමියනේ....!

ඇතුගල රත්වෙලා.....
මුලු නගරයම ගිනි ඇරගෙන
මිනිස්සු හැමෝම දුවනවා......
නිමා නොවන ගමනක්...!
කුඩයකින්වත් සෙවනක්
සොයාගන්නබැරි
නගරය මැදින් දුවන...
සැමට ඉහලින්..
සෙවනක් නැති පර්වතයමත
වැඩ සිටින....
බුදුහිමියනේ....
සැමට ඔබේ සරණයි.


ඔසි

Wednesday, April 7, 2010

හෙට...?

ගිය සතියේ

කදමලු බැඳන්

නෑගං ගිය අපි

පෙරේදා ලියමනක් යවලා

සන්තෝස උනා.

ඊයේ..

Telephone call එකක් දීලා

කථා කලා.

දැන් SMS එකක් යැව්වා.

හෙට...?
 
පින්තූරය ගත්තේ http://www.flickr.com/photos/nutfield2/2501538217/