Monday, September 13, 2010

දිසිදි පොල්

හතරේ මනිය ඇසෙනවා මගෙ දෙසවන ට
පොරවේ මුවත් තියනවා මගෙ අද හොඳට
හොඳට තැවුන පොල් කපනවා ඉක්මනට
සසරේ පුරුදු දුක ගෙවෙනවා නො දැනීම

විසිපන් සියයේ ඉලක්කයට අපි යන්නේ
කපනව හැල්මෙ පොල් මද ටික ඉවරයිනේ
ඉවසන් ඉතිං හවසට අද සරු වෙන්නේ
කියපන් මිතුරෙ කොහොමද මද කුඩු වන්නේ

දිසිදි පොල් නමින් ලෝකෙට පරසිද්ද
කපපු පොල් නමින් සිරිලක හැම දන්න
තුන් තිස් පැයේ දුක් විඳිනා හැටි දන්න
රටට බරක් නෑ අපි සවියකි ඔන්න

ඔසී

පොඩි එකා

තාත්තා
අඬන පොඩි එකාව
පරක් කරනවා...!
පොඩි එකා එක්ක ම
තාත්තාත් මුනින් පෙරළෙනවා
පොඩි එකා
නැළවුනත්...
අම්ම ට තමයි....!!!!!


ඔසී

තනි කමක්

අම්මා ගියා ආඬි ලිඳ ට පැන් ගන්න
අප්පා ගියා තල් අතු වැට සාදන්න
කලක් ගියා අම්ම අප්ප ඒ ගන්න
දැනුණා තනි කමක් දැන් නම් මගෙ සිතට

මතකයි තවම අම්මා හැදු කිරි හොද්ද
හිරවෙයි හද ම නංගා හැඬූ හැඬවිල්ල
කියවයි අම්ම අප්පා නෑ රෑ නින්ද
ගණ දෙවියනේ ඒ දෙන්නා රැක දෙන්න

ඇස් නටවන බෝනික්කන් අපට එපා
කුස් පුරවන රස මසවුළු අපට එපා
සිත් රවටන කතා අහුරු අපට එපා
අම්ම යි අප්ප යි හනිකට ගෙනෙනු හොඳා

ඔසී

කෙලෙස ද විඳින්නෙ

හිතන්නෙ කෙලෙස ද විඳින්නෙ මම මද
මා හැර ගියා කියා
කියන්නෙ මට මද හඩන්නෙ මම මද
මා තනි වුනා කියා

ඉකිබිඳ අයැදී පෙර දින මතක ද
සැනසුම දෙන්න කියා
මා සතු සම්පත ලැබෙනා තුරු එය
ඔබ හිඟමනේ ගියා

ලැබුණ විටදි ඒ මගෙ සෙනෙහස් ගඟ
හස රැලි මුවේ තබා
ඉවත හලේ ඇයි දන් දුන් වස්තුවමට
දුක් ගිනි දීලා

ඔසී

හිඟ ද.?

ඇයි
දුක ට
මෙච්චර
ඉල්ලුමක්
දුක හිඟ ද.?


ඔසී

නින්ද

රෑට නින්ද
අහලක වත් නෑ
ඒකටත් එක්ක
දවල් ට
උඹ වගේ මයි...!

ඔසී

තිත්ත

නො දැනෙනවා නොවෙයි නුඹගේ සෙනෙහෙ මට
පවසනවා නොවෙයි වරදක් සිතට එන
දුක්ගන්නට එපා පවසන විට ඇත්ත
තිත්ත වුනත් කිව යුතු මයි දත යුත්ත

වැදෙන විටදි මල් හී සර හදවතට
දැනෙන සුවය විඳගන්නද කෙලෙස මම
ඔබට දැනෙන ඒ සුවයම අත්නොවිඳ
නො දුටු පැත්ත පවසමි මම අද ඔබට

සොයුරිය නුඹේ ගුණවත් කම අගනේය
මනාලිය මගේ වන්නට පැතුවේ ය
නො දැන සිටි යමක් දෙසවන වැකුණේ ය
මගෙ අප්පා නුඹෙත් අප්පා වන්නේ ය

ඔසී

ඔය දුක...!

මට නො දැනෙනවා නොවෙයි
ඔය දුක...
මොනවා කරන්න ද...?
ඔයා කොරහෙ කිඹුල්ලු දැකපු කොට..
මම දැන ගත්ත...
මමත් ඔහොම
කොරහෙ කිඹුල්ලු දැක්කා.
මට දැනෙනවා කොරහා
බිඳුනම තියෙනඔය දුක...!

ඔසී

පියා නො වුනත්

ජාතක කල පියා නො වුනත් නුඹ අපගේ
ලෝතලයම යටයි ඇති වීරියට නුඹේ
අවමන් කළත් පස මිතුරන් අද දවසේ
ගුණවත් නුඹේ සිත හින්දයි අප රැකුණේ

මවට කිව නො හැක වරදක් කිසි විට දී
හිරුට අයිති ඇය සඳවතියක් පමනී
අරුණ සමග හිරු තෙදවත් වන විට දී
නිශා යාමයේ හෙළුවා සුසුම් කැටී

අප දන්නා පියා නුඹ පෙර දිනේ හිටන්
නුඹෙ නම ගිලිහුණේ ඇයි අර අකුරු පොතෙන්
විමසන්නට වුනේ ඉවසනු බැරි වූයෙන්
පිළිතුරු ලැබුණි මවගේ තෙත්වූ දෙනෙතින්

ඔසී

අම්මේ

රෑට සඳ එළිය දහවල හිරු කිරණ
වැලකිය නො හැක ගේ ඇතුළට ඒම
තැන තැන දිරා ගිය වහලය සේම
රෝගී වූ පියා දුබලයි තාම

දැලි කුණු වැකුණු මුළුතැන්ගෙයි හිමිකාරී
ඇගෙ වත බලන්නට කිසිවෙක් නේවී
පැරණි ඉවත දමනට හැකි හැළි මුට්ටී
අක්කණ්ඩිගේ හිරයට දේපොළ වෙච්චී

සු පිරිසිදුයි සයනයෙ ලූ ඇතිරිල්ල
ඉවත් කලොත් පෙනෙනවා කොහු ගුදිරි ටික
මුහුණ බලන විට කැඩ පත අතට ගෙන
ඇයි නො පෙනෙන්නෙ නංගීගෙ ඇවිළෙන ගින්න

ආරස්සාව දෙන ගෙයි දොර ඉදිරිපස
අගුල ගැලවි වැටුණා පෙර දා රෑක
දෙවන පිරිමියා අපෙ අයියා ගෙදර
දකුණත අහිමි වුයේ පෙර කරුමෙකට

සඳ දෙස බලා පිල උඩ පැදුරට එනවා
නො දුටු සිහින ගැන සිතමින් ල තැවෙනවා
සැවුළන් අවදි කර ගෙදරින් පිට වෙනවා
ලැබෙන අහරකින් මම ජීවත් වෙනවා

කල් ගත වුනත් දැමු පාදම අප නිවසේ
සවි ඇති නිසයි තවමත් එය පවතින්නේ
නුවනින් බලා අප සැම දෙන රැක ගන්නේ
අම්මේ නුඹ නිසයි අප ජීවත් වන්නේ

ඔසී

අට විසි

අමාවක සඳ
සමයි නුඹ වත
කිම ද
අට විසි
පුර,අව කලාවෙන්
ඉක්බිති...
මෙතරම් අඳුරක්....?


ඔසී

කනත්තක්

පර පණ නැසීමට අපි අනුබල නොදෙමූ
ජීවිතයක වටිනාකම ඉගෙන ගමු
පිළිහිඩියෙන් තොර ව ආහාරය ගනිමූ
අප කුස කනත්තක් නොව නට බලාගමූ


ඔසී

සබඳ..

සබඳ..
නවතින්න
සිතන්න මොහොතක්
ඉටු කළා ද ඔබ.
සාධාරණයක්,
ලැබූ..අධ්‍යාපනයට
මව්පියන්ට
නැණස පෑදූ..
ගුරු දෙවිවරුන් ට
රටට....?

ඔසී

දරුවනි

නව පරපුරේ දරුවනි මේ ලෙස හිතමූ
හැඟුමට නො දී බුද්ධියටත් තැන ක් දෙමු
පිටින් ගෙනෙන සැම දේ කර මත නොගමූ
හොඳයි නරක දෙක හරිහැටි වටහ ගමූ

ආගම දහම ගැන හොඳ හැටි ඉගෙන ගමූ
දුක් පත් දුගී ජනයා හට සරණ වෙමූ
සහොදර සහෝදරියන් හා පියා මව්
අමතක නො කර සැම සත හට මෙත් වඩමූ

උගත් දෙයින් දිනූ බිමට වැඩ කරමූ
ලෝක ගමේ සැරිසැරුමට බිය නොවෙමූ
අපේ සමත්කම් පිට රටුනට කියමූ
රටට අවැසි දේ නිවැරදිව ම කරමූ

රාග ද්වේෂ මෝහය ඉවත ට හෙලමූ
ඇත්තම කියන්නට කිසි දා මැළි නොවෙමූ
රටට සම්පතක් වීමට දිරිය ගමූ
මේ බිම ලෝකයේ පෙරටම රැගෙන යමූ

ඔසී

Friday, September 3, 2010

කැඩ පත

කැඩ පත කැඩ පත..
මම ලස්සන ද..?
..ම්ම්ම්...ඔව්
කැඩ පත කැඩ පත..
මම ලස්සන ද..? ..
ම්ම්ම්...ඔව්
කැඩ පත කැඩ පත..
......

.
ඔබට ලස්සන
මම
ඔහුට …..

අවලස්සන වූයේ ඇයි....?


ඔසී

බම්බුව තමයි..!!!

මතක ද...?
අපි විසි කරපු,
උණ පුරුකෙන් හදල
කොහු ලණු ඔතල,
රෙදි කඩමාල්ලක්
අගට ඔතල,
මුට්ටිය උඩින් තිබ්බ
පිට්ටු බම්බුව....!
අද Ever silver....
බම්බුව තමයි..!!!


ඔසී

අම්මේ..!!!!!

උතුරා ගලා ගිය හද තුල කරුණාවේ
දැනුණා මෙමට සිටියදි කුස තුල ඔබගේ
මෙත් සිත් වඩා බලයෙන් බුදු දහමේ
ගුණ නැන මෙමට දායාදය දුන් අම්මේ

රක්ත වර්ණ රුධිරය සෙනෙහස හමුවේ
ක්ෂීරය වී දෙතනින් මුව වෙත ගැලුවේ
ඒ කිරි ගුණෙන් සැම විට සවි බල ලැබුණේ
දිවි ඇති තුරා මම ඔබ රකිනෙමි අම්මේ

ගැබ් බර තමයි ඉහල ම බර මිහිතලයේ
දස මස් ඉවසමින් ඒ බර උහුලැව්වේ
දන්නෙමි වේදනා වන් විඳි ඒ සමයේ
මතු අත් බවේදිත් පතනෙමි ඔබ අම්මේ


ඔසී

අයිස් පලම

මට
කඩෙන් ගත්ත
අයිස් පලමක්
මතක් වුනා...!
ඉතිරි වුනේ
කෝටුව විතරයි...!!!


ඔසී

වැටුප..?

දරුවෝ
පොත්
කිරි පිටි
බිරිඳ
ගෙදර අඩු වැඩිය
ගෙවල් කුලී......
වැටුප..
කන්ථක ගේ
තොරණ ට...!

ඔසී

හැකි වෙද .....?

කළය නු හුරු උකුලට කළය ක් ගන්න
හිස මත තබා දර මිටියක් ගෙන එන්න
රටා දමා මගෙ ගෙමිදුල අමදින්න
කලකින් නො දුටු සිහිනය වෙත ගෙන යන්න

පදමට ඇඹුල් සහ ලුණු ටික දා ගන්න
හොද්දක් සමග සම්බෝලය සාදන්න
පතුල රොස් නො කර බත් ටික පිස ගන්න
රස මසවුළු නැතත් ඒ ටික ඇති ඔන්න

හද තුල නැගෙන දුක් ගින්දර සනහන්න
දුක සැප එකට මා සමගින් විඳ ගන්න
මව් නැති මගේ දරු පැටියට මව් වෙන්න
හැකි වෙද කොළඹ හැර කුරුණෑගල එන්න

ඔසී

සබන්

සීගිරි ලියන්ගේ....
නැති වුන
ඡවි කල්‍යානය...
ගෙන දීමට...
නූතන ශාකසාර
සබන් වලට..
හැකි වෙද.....?

ඔසී

ඒත් උඹ......

මම....
එදා හවස හිතුවේ ම...
ආකාසෙයි උඹයි..
එක වගේ කියලා...
ආකාසේ රොබ්බාගෙන ඉඳලා
එක පාරට ම...
මහ හයියෙන්...
වහින්න ගත්තා
ඒත් උඹ......
ඒ වගේ
මහ හයියෙන්
නාඬපු නිසා බලද්දී....
පොඩි වුන...
පොරෝනය විතරයි...
උඹ ගිහිල්ලා...!

ඔසී