Friday, November 12, 2010

නෑනෝ.....

අතකින් කළය අතකින් සළු පිළි රැගෙන
නාන තොටට නුඹ යන එන අතර මඟ
සිටිනා මගේ සෙවණැල්ලත් නො දුටු ලෙස
නෑනෝ කිමද යන්නේ බිම බලා ගෙන

නුඹ ගෙට වෙන්න පෙර දී පුන් පෝ දා ක
බුදුන් පුදට මම සුදු මල් නෙළුවා ම
මල් නෙලු මගේ දෑත ම නුඹ සිම්බා ම
සිතට දැනුණ හැඟුමන් මතකයි තාම

දැන් දැන් දැනේ මහ වැස්සක පෙර ලකුණූ
නැන්දම්මගෙ මුවින් ගැසුවා සැර අකුණු
නො තෙමී ඉන්ට නෑනෝ දෑතින් සැදුණූ
ගෙපැලක් ඇතේ කදිමට සෙනෙහස රැඳුණූ

වාසනාවන්

වැව් දිය සිඹින මද නල වාසනාවන්
කෙත් බිම් තෙමන වැසි දිය වාසනාවන්
අටුකොටු පිරෙන කුඹුරත් වාසනාවන්
ඇඹුල ගෙනෙන මැණිකේ වාසනාවන්

හද සනසවන වචනය වාසනාවන්
සිත සනසවන ඔබ රුව වාසනාවන්
නෙතගින් වදින හී සර වාසනාවන්
සෙනෙහස විඳින්නට මට වාසනාවන්

මැණිකෙ ගෙ කනේ තෝඩුව වාසනාවන්
මුතු ඇට පෙනෙන සිනහව වාසනාවන්
දරුවන් පෙනෙන උකුලත් වාසනාවන්
නුඹෙ අත ගන්න ලැබුනොත් වාසනාවන්

සමුගැනීම

දෙ දොහක් දැල්වුන පහනට
බත් කූරෙක් දඟලා වැටුණා
කනප්පුවේ හෙප්පුව මත
බුලත් අතක් මුනින් පෙරලුනා

ඇණයෙන් එල්ලුණ සිතුවම්
කටු මැටි බිත්තිය සිප ගත්තා
සැම දින මගෙ ලඟින්ම උන්
නුඹ ගෙයි මැද දෙනක සැතපුණා

යැදීම.....

පින් ඇති දෙවියනේ මේ දුක අසන්නේ
නිම් නැති සෝ දුකින් මම කල් ගෙවන්නේ
ඉන් නැති තැනට සිත් මලපොලඹවන්නේ
වික් මැති ඔබේ සරණයි මට තියෙන්නේ

සිත් නැති මිනිසුනේ ඇයි මා පෙළන්නේ
කිත් ඇති නමුත් ඇයි ජඩ වැඩකරන්නේ
හිස් නැති සිරසෙ මල පමනද තියෙන්නේ
දිස් නැති ගලක් ඇයි ඉවතටදමන්නේ

විස් මැති ඔබේ ගුණ වයමින්කියන්නේ
ඉන්නැකි ඔබේ තෙද බල ඉස්තිරයිනේ
සිත් තැලි එවුන් තවමත් රජ කරන්නේ
සින්දැකි නො වෙද මුන්ගේ ගෙල කමන්නේ

එපා.....

දැනෙනව සැමට වැඩියෙන් මල්වල පැහැය
විඳිනව දුක සතුට නො අඩුව සැම දිනක
නෙත් අඳ නමුත් කරුණක් කියනෙමි මෙලෙස
මිනිසුන් නටන නැටුමන් පෙනෙනව මෙමට

පෙනෙනා දෙනෙත නො පෙනෙන දේ කරනු එපා
දුටු දේ නො දුටු විලසට ඔබ ඉන්න එපා
බල ඇති එකා දුටු විට සැඟවෙන්න එපා
තිබුණ ට සවිය දුබලයා පා ගන්න එපා

අත මිට සරු නමුත් නැති බැරි දේ එමටයි
රූ සපු ඇති නමුත් දිවි අඟනුන් ට යටයි
පිටතට හොඳ නමුත් ඇතුළත විෂ එමටයි
කළ හොඳ නරක එක සිතුවිල්ලකට යටයි

අම්බරුවන්

හීලට කොටා බෑ දං කුඩ වැය වෙනවා
දහවල බතට කොස් තම්බා ගෙන එනවා
ගහෙන් දෙරි ගැහුණු ම' පියා සිහි වෙනවා
දෙවියන් පිහිට අකැප ද නෙත් තෙත් වෙනවා


කමතේ ලියද්දේ වත්තේ කඹුරනවා
පෙර අත් බවේ දී ගත් ණය පියවනවා
මඩ සෝදපු ගොවියා හෙට රජවෙනවා
ලබන බවේ මුං අම්බරුවන් වෙනවා

මතකයි

මොළකැටි අත් ගුළි කරවා කෑ මොර දුන්නා මතකයි
දුවේ නුඹේ සුමුදු දෙපා ලංකර සිම්බා මතකයි
දෙතනින් කිරි නො දුන් නමුත් දහ දුක් වින්දා මතකයි
නුඹෙ අම්මා හැර ගිය දින රෑ නිඳි වැරුවා මතකයි

හැදෙනා ගස දෙපෙති වලින් පෙනුණා මට තව මතකයි
නුඹ දණ ගා අත් අල්ලා සිට ගත් හැටි තව මතකයි
නැති බැරි මුත් හැකි අයුරින් සිල්පය දුන්නා මතකයි
රෝස පොහොට්ටුව පිපුණා මලේ වරුණ තව මතකයි

මා නො ලැබූ නො දුටුව ලොව නුඹ සැරි සැරුවා මතකයි
නුඹ මට ණය ගෙවනා බව සැම දින දෙඩුවා මතකයි
මට නුඹ ණය නැති බව මම පහදා දුන්නා මතකයි
සිහිනෙන් නුඹ මංගල පෝරුව මත සිටියා මතකයි

රෑ අහසේ සඳ තරු දෙස විමසිලි වූවා මතකයි
දුවට මවත් මවට දුවත් නුඹ පැවසූ හැටි මතකයි
හිමිදිරියේ නුඹ නැති සයනය දුටුවා මට මතකයි
මම සිතු ලොව මම පැතු ලොව බොඳ වී ගිය හැටි මතකයි

පැතූ පැතුම්

වසන්තයේ එක් සැන්දෑ වරුවක
කුමරිය හා කුමරා දෙදෙනා
නෑසිය මිතුරන් පොදි බැඳි හස කැන්
අතරින් සතුටින් නික්මෙන්නා

පැතූ පැතුම් භව ගණනක් පෙර සිට
ඉටු විය මල් වැසි ඇද හැලුණා
සීතල මද නල සිරුර සිඹින සඳ
උණුසුම් හැඟුමින් සිත පිරුණා

සිහිනිඟ දැවටූ සළුවක් සුළඟට
විසිරී දෙපතුල සිප ගත්තා
රත් පැහැ ගිනියම් හිරු සැනසෙන්නට
සාගර ජලයේ කිමිදෙන්නා

පණ ...?

දුටුවා පියකරු උවන ක්
නැඟුණා මද හස රැල්ලක්
දැනුණා සුපුරුදු සුවඳක්
පෙර භවයක හමුවීමක්

මගෙ හද ආදර අරණක්
තනි වෙමු එහි එක මොහොතක්
පතමින් පැතුම න් දහසක්
හමු වෙමු අපි තව දවසක්

සෙනෙහස ඉතිරී තිබුනත්
වැටුණා නෙතගින් කඳුල ක්
මගෙ පණ ඔබ පැවසූවත්
ඔබෙ පණ ඔහු ළඟ කවදත්

නුඹෙ රුව

ගෙමිදුල එළිය වැටෙනා සැටි දුටුවේ ද
පුර පොහොයට සඳ නැගගෙන එන්නේ ද
බුදුන් පුදන්නට කවුරුත් යන්නේ ද
නුඹවත් සොඳුර මා සමගින් එන්නේ ද

පස් විසි වසක් එපිටට සිත යන්නේ ය
නෙලූ තඹුරු විල අද එහි නැති සේය
සිර කල එදා තිසරුන් නිදහස් සේය
නුඹ මම දෙදෙන අද සතරක් වන්නේ ය

පෙර දින මගේ සිත පැවසී දෙයක් ඇත
පරදයි තවම නුඹෙ රුව යුවතියක රුව
කුඹුරක ගෙයක හේනක ඇති සෑම දෙය
කෙරුමට මැලි නො වීමයි එහි ඇති රහස

සුවඳක් ....

පිපුණු නා මලක සුවඳක් නැහැය ට දැනුණා
මල්වර මඟුල ට පසුව දි මම උඹ දුටුවා
ඩිංගි නඟේ නුඹේ ඇඹුල රස බව දැනුණා
නුඹෙ අයිතිය සදහට මට ගන්න ට සිතුණා

වරුව ට වී ලාස් දෙකක් කපලා දෙන්නා
කමත සදා ගොයම් කොලේ ඇදලා දෙන්නා
එළලා පාවර අම්බරුවන් දක්කන්නා
කොළ ගොං ගසවා හොඳ හැටි බැත ටික ගන්නා

මෙදා කන්නෙ සරු බව හැම මුව ම දොඩන්නා
නඟේ නුඹේ රූපය හැම රෑක පෙනෙන්නා
ලබන කන්නෙ කුඹුර කරමු මේ අපි දෙන්නා
පිහිට පතා පත්තිනි දෙවොලට මම යන්නා

ගඟ දිය

සඳරැස් නැහැවුණ මේ උද්‍යානේ
කළ කී දෑ මතක ද හිමි සඳුනේ
බැබළෙන පුන් සිසි අද තනි අහසේ
සිතුවිලි සයුරේ මම තනි යහනේ

සිහිනය නැත අහලක වත් රැඳුණේ
සුවඳ දැනේ මට ඔබගේ නිබඳේ
දෙලවන් පෙති අයැදියි ඔබ පහසේ
දෙකොපුල නැත චුම්බනයක් ලැබුයේ

උණුසුම දැනුණේ රති කෙළි මඩලේ
දැඩි බව වැටහේ රණ හස් තුඩුවේ
හැඟුමන් කැලතී නිඳි නැති යාමේ
නැත රමණය තුටු ගඟ දිය ගැලුවේ

ගින්දර......

මට හරියට
කේන්ති යනවා...
කේතලයක් වගේ...
පිඹිනවා ලු..!
ඔයා දෙන
ගින්දරවලට....!

නො පතමි

වරදක් නොකලෙමි මම කිසි දිනයක
ඔබ ඔහු හට පෙම් කලා කියා
නැවතත් නො පතමි බුදු හිමි අබියස
මතු බවයෙක හමු වෙන්න කියා

සියපත සිඹිනට වරම් නොමැත මට
ගොහොරු මඩේ කුඩ මසකු නිසා
සතුටින් සමු දෙමි සියපත පුදනට
ජන්මය ඒ ගොහොරුව ම නිසා

කරුණක් කියනෙමි හද තුල තෙරපෙන
නන්ද කුමරුවන් සිත්හි තබා
ගිහිගෙන් නික්මෙමි පතනා ලොව වෙත
ඔබ ජනපද කලනියක් තමා

අනුරාධපුරය.......

තිසා වැවේ ළය සිඹිනා සීතල සුළඟේ
නිසා මැවේ හද ගැහෙනා සීපද රාවේ
සිතා සිතේ ඉපදවෙනා නීරස රාගේ
නිසා හදේ ඇති කර ගමු බැති බර සීලේ

ඉසුරුමුණියේ පෙම් යුවළේ සොඳුරු සිනාවේ
ගෙවෙන මොහොත නො දැනී අප නෙත ගිලුනාවේ
තව සියවස් අනන්තයක ගුන වැයුනාවේ
වඩුවානෙනි විස්කම් දෙවි ඔබයි කළාවේ

වෑ කන්දේ තුරු සෙවනේ මන දොල පිරුණේ
සෑ රදුනේ රත්නමාලි රන් කොත දිලුණේ
දොහොත් නගා සැදැහැ සිතින් සැම දෙන වැන්දේ
ඔබ සිහි වෙයි අප සැමට ම ගැමුණු රජින්දේ

තව්තිසාවක්....!

හිමිදිරි උදයේ..
මාවතේ
උඩගු රණ තිසරුන්
දුටු දෙනුවන්
හිමි සිත
වරක්, දෙවරක් නොව
තෙ වරක්...
බැඳේ රහසින්...
වරදේ....
හැරී බලා
ගැස්සෙයි හද...
තාලය ට
උකුලේ....
මැවේ
නො දුටු...
තව්තිසාවක්....!

අම්මාවරු

සුදෝ සුදු වතින් සැරසී
දනට වඩින අම්මාවරු
කඳුළු පිරි දෙනෙත බර වී
සොඳුරිය ගේ වත දුක් මුසු

මවකට පැටවකු බිහි වී
එරුනලු කිරි රැලට ම මුලු
සෙනෙහස පමනක් වැඩි වී
ගැබ් බර ඉසිලීමට බැරු

දරපු වෙර විරිය පෙර දී
සිහි වුනි කණ කැස්බෑවකු
කිමද බලන සැම දින දී
නුබ සමගම කලුවර සඳු

ඇතුගල

ඔහු සමගින් ඔබ දල්වන පහනම
මතකද අප දෙදෙනා දැල්වූවා
ඔහු හමු වෙන මේ ඇතුගල සෙවනෙ ම
මතකද අප දෙදෙනා හමු වූවා

ඔබට මතක ඇති අමතක කර ඇති
සොඳුරු අතීතය මට සිහි වූවා
ඇතුගල දැන සිටි පැතූ පැතුම් පොදි
ගුවන් තලය වෙත යලි එක් වූවා

චපල කමක් නැති ඔබ සිත හඳුනමි
මුසා බසක් කිසි දින නොකියූවා
පතමි දිගා සිරි ඔබට ජයෙන් පිරි
මගේ ලොවේ මා යලි තනි වූවා

කුසල් /අකුසල්

තෙල් මල් පුදා දෙ වරුව බුදු හිමි වඳිනා
නො වැරදි සතර පෝය ට අට සිල් ගන්නා
පංසල ලඟ දි දොහොත් මුදුන් දී වඳිනා
බැති බව ඉතිරෙනා මිනිසුන් ඇත මෙදිනා

අනෙකට වැඩිය මුදලින් පින් දම් කරනා
දෙනම ට සතර නමක ට දානය ගෙනෙනා
ගෙදර උපන් සුරතලු පංසල ට ගෙනා
පින් රැස් කරණ පින් වත් අය ඇත මෙරටා

මඩිය තර කරන්න ට මළකුණු විකුණා
මහ වෙසඟේ සැමට ම දන්සැල් දෙන්නා
පතමින් කුසල් අකුසල් රැස් කර ගන්නා
අනුවණ දනෝ ඇත රට වට සෑම තැනා

එකෙකූ දියුණුවට වෛරය සිත දරනා
කෙනෙකු යදී දෙවි පාමුල වැඳ වැටිලා
නුවනින් බලා අකුසල සිත් හැර දමලා
ආරිය අට මඟේ යමු අපි සිත පහදා

ලියමන

මල්ලියෙ නුඹේ ලියමන ගෙදරට ලැබුණා
ගෙමිදුල තල ගහේ එදින ම මල පිපුණා
අකුරට ගියේ නුඹ මගෙ පත පොත රැගෙනා
එනමුදු නැතේ කඳුළක් නෙතගින් වැටෙනා

මගෙ දොර වසා මම නුඹෙ දොර හැර දුන්නා
ගෙදර ට පහන නුඹ වේ යැයි මට සිතුණා
හැරුණ දොරෙන් නුඹ පහන ද ගෙන යන්නා
නුඹ ට සැපයි නිවසට අඳුර ම වන්නා

නෙත් අඳ පියා නුඹ එන තුරු කන් දෙනවා
අසරණ මෑණියන් දුක් කඳු ලැළි බොනවා
කටු මැටි ගෙපැල මහ පොළොව ට පස් වෙනවා
නුඹ දිවි මඟේ හෙට දින නුඹ රජ වෙනවා

පෝරුව මත දි ගේ දොර ගැන සිතන්නෙපා
නෑදෑ සනුහරේ විස්තර කියන්නෙපා
බිරිඳට කිසිම දිනයක දොස් නඟන්නෙපා
යලි කිසි දිනක ගම වෙත පා නඟන්නෙපා

පෙම් කතන්දරේ.....!

පිනි කැට වැටෙනා
නිශා යාමයේ
තරු මල් ඇහිඳිමු
අහස් ගඟේ
සඳ කැන් නැහැවුණ
නිල් තණ පියසේ
දෙපා නඟා යමු
අනන්තයේ
සුරතින් අල්ලා
නලල සිඹින්නට
සිතුවිලි පිබිදෙයි
නිරන්තරේ
ඉවසමු මතු දින
විජය කරන තුරු
නිමා නොවන පෙම්
කතන්දරේ.....!

මල්ලියේ

මතක ද මල්ලියේ අප දෙදෙනගෙ අප්පා
අදිකාරම මහ සිංහලයේ වන්නා
සතුරන් මුලා කර ජය අප වෙත ගෙන්නා
ගැනුමට තැත් කලත් එය වැරදී යන්නා

නුඹේ ළපටි මොළයට නැත වැටහෙන්නා
එතුමගෙ සිත් සතන් මම හොඳ හැටි දන්නා
සතුරගෙ කර මතින් නරපති කම ගෙන්නා
මවුබිම බේර ගන්නට ඔහු වලි කන්නා

වඩුග රජා ගේ නොපනත්කම් හන්දා
එක් සිත් සිහල බලමුළු විසිරී යන්නා
මේ සැම විමසමින් නුවනින් දුර දක්නා
පළවා හරින්නට රජ පෙරමුණ ගත්තා

කියපන් සැමට හෙට දින රට ජය ගන්න
එපා නැවත මැරෙනා හැටි පෙන්වන්න
පළවා හරින්නට පර සතුරන් ඔන්න
පැතුමක් පතමු සිංහලයේ ඉපදෙන්න

Monday, November 1, 2010

සඳ ….!

දකින තුරු නෙරළු තුරු
උඩින් පුර සඳ වල අසලින්
පා නගා
ගිය නගා
වල ට වැටුණ සඳ ……!

දීගේ

කවියක් කියන්නෙමි මම පැල නැති හේනේ
සිහින දකින්නෙමි මම නිදි නැති වේලේ
පුර හඳ දකින්නෙමි මම කළුවර පෝයේ
ඔබ ගුන වයන්නෙමි මම නො කෙරෙන දීගේ

විලාපය

කස්සප නිරිඳු නේ මේ දුක අසනු මැන
මෙතුවක් උන්න ආරක්ෂක බඹර කැල
එළවා දැමුයෙ අර නුතන නරුම රැළ
ඉවසා ගනු නො හැක මේ දුක සැමට අප

ආදාහනය

හනි හනිකට අඳුර ගලා වටපිට කළුවර වෙනවා
කර කර ගා දැවෙන කොටන් රත් පැහැයෙන් දිදුලනවා
ඈතින් යන කිරලෙකුගේ නද රැව් පිළිරැව් දෙනවා
කජු කන්න ට ආ වව්ලන් සර සර ගා නික්මෙනවා

අමු ගොක්කොළ දැවෙන කුයිල දසත ම විසිරී යනවා
සුදු පාටින් මල් වැල් ටික කලු වී නො පෙනී යනවා
කොඩි වැල් ඇද තිබු චිතකය නැත දුම් ගොඩ දැන් පෙනෙනවා
ජීවිතයේ අනියත බව ඒ අතරින් මම දකිනවා

සිය ගණනින් සිටිය සෙනඟ ඉවතට පිය මැන යනවා
ගිනියම් වී දැවෙන සිරුර වට කර ගිනි දැල් නගිනවා
හයේ හතරේ ශරීරයක් අළු වී පොලවට වැටෙනවා
අපෙ අත්තා නො එන ගමන් ගිය වග සිහියට නැගෙනවා

කාලය....!

මතකයි අම්ම ලෑ මහගෙදර ආලින්දයේ තිවුන ලස්සන
කණ්ණාඩි මේසෙ,
උදේ ට ඉර පායද්දී,
එලිය කණ්ණාඩියට වැදිලා
දිලිසෙද්දී ගෙදර තියා වත්තෙ වත් කාටවත් ඉන්න බෑ.
ඒ දිස්නෙ ගමට ම දැනෙනවා කියල අත්තම්මා කිව්වා.
ගෙදර අයගේ ගෙදර ට යන එන අයගේ
තොප්පි එල්ලන්න ලස්සනට මැදපු,
කොකු හතරක් තිබුණා.
අත්ත ගෙ Brim එක තිබුණ තොප්පියක් තිබුණා එල්ලලා ලස්සන ට...
කණ්ණාඩිය ට උස නැතත් මම උඩ පැනලා,
උත්සාහ කලා, මොකද අම්මා කිව්වා "මූණ තියෙනවා ට වඩා ලස්සන ට පෙනෙනවා "
කාලය ගෙවුනා...
අපි මහ ගෙදරින් ගියා...
රැකියාව ක් ලැබිලා,
අත්තා අන්තරා වුනා ට පස්සෙ කාලයක මම මහ ගෙදර ගියා...!
අදහ ගන්න බෑ අර මහේශාඛ්‍ය ලීලාවෙන්
වැජඹුණ කණ්ණාඩිය අව පාට වෙලා පුස් බැඳිලා......
කොකු වල එල්ලිලා තිබුණේ visor එක ගැලවුන helmet එකක්....

මතකය

රළ බිඳි බිඳී වැව් බැම්මේ නද දෙනවා
අත පොරි රැඳී එකිනෙක ඉන් ගිලිහෙනවා
හද බැඳි නොකී සිතුවිලි මතකෙට එනවා
මගෙ හද බිඳී විසිරුණ හැටි සිහි වෙනවා

සුළැඟිල්ලෙන් අල්ලා ගෙන පිය මැන්නා
කඳු රැල්ලෙන් මල් මල් මල් වැසි වැටුණා
කෙහෙරැල්ලෙන් ගිලිහී පිනි බිම හැලුණා
සිතුවිල්ලෙන් නික්මී මගේ නෙතු වැසුණා

ඔබ සිහි නොවන දිනයක් මගෙ සිත නැත්තේ
සිත සනස වන කිසිවෙක් මගෙ ලොව නැත්තේ
තෙත් වුන දෙනෙත පිස දැමුමට සිත් නැත්තේ
ඔබ යලි කෙදින එයි දැයි මම දන් නැත්තේ

අළුත් ඇඳුම

නංගී...
ලස්සනයි අළුත් ඇඳුම
ඒත්...
බිමට නැවෙද්දී කර අල්ලන්න එපා...!
ඒ දිහා බලන්න පෙළඹවීමක්..
ඒත් අර බ්ලවුස් එක.....
දෙපැත්ත මහන්න බැරි වුන...
ඒක හරි නෑ...
මොකද ඇඳලා ඉන්න...
කලිසම ටිකක් පාත් උනා ම
උකුල පෙනෙනවා....!

එපා..

එපා..
එන්න එපා...!
මගේ දෙනෙත් මානයට..
එන්න එපා...!
මට මගේ හිත
මම ලඟ තියා ගන්න ඕන...!

පුර හඳක්

පුර හඳක් සේ අහස ට නැඟී ඔබ....
කලාවෙන් කලාවට..
අව පක්ෂය ට ගොස්..
සදහට ම අමාවක දිනක්
මට උරුම කලේ මම නැවතුණ නිසා ද...?

මල් කැකුලි

හෙට දවසේ වික සිත වන මල් කැකුලි
හිරු අවරේ ඇති සැන්දෑ යාමයෙ දී
කිමද ගියේ විසිරී නටුවෙන් ගිලිහී
තිබුනි ද විස එතරම් මී මැසි තුඩෙ හී

කුලුනු ගුනේ අගතැන්පත් ඔබ කුමරී
සොඳුරු සිතේ ගැයුවා ගී පද මිහිරී
දෙ ගුරු කෙරේ කීකරු ගුණවත් යුවතී
නො මිනිසුනේ ඇසුනි ද හැඬුවා මොර දී

පහන වුනේ ගමට ම ඇය පෙර දිනෙ හී
අඩුව දැනේ ළපටීන් හට පාසලෙහි
ඇයි ද මෙසේ ලසෝ තැවුල් අප සිතෙහී
මතු භවයේ හමු වෙමු අපි යලි නැගෙනී